November 2016


සුහද කතාබහකට සොඳුරු ඇරඹුම
November 2016




සිහින් හඬින් නැගී ආ පියානෝ රාවයේ වූයේ කන්කලූ බවකි. අවිවේකී දිනක අවසානය සනිටුහන් කරමින් පැවති සන්ධ්‍යාව නිස්කලංකය. අතීත මතකයන් අතර සරමින් දිගු කතාබහක වෙලී සිටි මගේත් මිතුරියගේත් කතාබහට විවේකයක් ලබාදෙමින් අපි අතරට පැමිණියේ ඉතා සුරුවම්ව අසුරන ලද කෙටි ආහාර එකතුවක් සමඟ වූ තේ පෝච්චියකි. හයි ටී ලෙසින් අද වන විට ප්‍රචලිතව ඇති එහි මිහිර විඳීමට අපි සූදානම් වුනෙමු.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: මේනක අරවින්ද සහ විශ්වතන් තර්මකුලසිංහම්


හයි ටී කියූ සැනින්ම එය ඉංග්‍රීසි සංස්කෘතියට අයත්වූවක් බව ඉතාමත් පැහැදිලිව හඳුනාගත හැකිය. අද වනවිට බොහෝ දෙනා වැඩි රුචිකත්වයක් දක්වන හයි ටී සංග්‍රහ හෝටල්වල මෙන්ම නිවෙස්වලදීද පවත්වනු ලබයි. එමෙන්ම කාන්තාවන්ගේ උපන්දින සාද, කාන්තාවන්ගේ සුහද හමු වැනි අවස්ථාවන් සඳහාද හයි ටී සංග්‍රහයන් පවත්වනු ලබයි. මෙයට වසර විස්සකට පමණ පෙර මෙරටට පැමිණියද මෙය අප සමාජයේ වඩාත් ප්‍රචලිත වන්නට වූයේ පසුගිය වසර කිහිපය තුළදීය. අද වනවිට ලොව පුරා ප්‍රචලිතව ඇති හයි ටී à·„à·’ නිජභූමිය වන්නේ එංගලන්තයයි.


ලෝක සිතියමේ ලංකාවට තරමක් ඈතින් පිහිටා ඇති එංගලන්තය යනු අපූරු සංස්කෘතියකට උරුමකම් කියන සුන්දර රටකි. ශීත දේශගුණයකින් සමන්විත එරට වැසියන් සතු වන්නේ ළෙන්ගතු මෙන්ම සුහදශීලී චර්යාවන්ය. පිරිපුන් වූ උදෑසන ආහාරයක් ලබාගන්නා බ්‍රිතාන්‍ය ජාතිකයින් දහවල් ආහාරය සඳහා සැන්ඞ්විච්, සලාද වැනි සරල ආහාරයක් ගන්නා අතර රාත්‍රී ආහාරය ලෙසින් බිස්ටේක් වැනි ප්‍රෝටීන් අධික ආහාරයක් ගැනීමට පුරුදුවී සිටියි. දහවලට ගන්නා සැහැල්ලූ ආහාරය හේතුවෙන් සන්ධ්‍යාවේදී කුසගින්නක් ඇතිවීම ස්වභාවිකය. එබැවින් සවසට සැහැල්ලූ ආහාරයක් සමඟින් තේ හෝ කෝපි කෝප්පයක් තොලගෑමට බ්‍රිතාන්‍ය ජාතිකයින් කවුරුත් කැමතිය. එමෙන්ම සැන්ඞ්විච්, පැණි රසැති ආහාරයන් මෙන්ම ඇපල් සහ බෙරි වර්ගවලින් සාදනු ලබන ආහාරවල රස බැලීමටද ඔවුන් අතර වැඩි රුචිකත්වයක් පවතී. මේ සියලු හේතු සාධකයන් නිසා සවස තුනත් හයත් අතර කාලයේදී සැන්ඞ්විච්, කැනපි වැනි සිසිල් (සාමාන්‍ය උණුසුමින් යුතු) ආහාර, ගැඹුරු තෙලේ බැදගත් උණුසුම් ආහාර සහ පැණි රසැති ආහාරවලින් සමන්විත සැහැල්ලු ආහාර සමඟින් තේ හෝ කෝපි කෝප්පයක් රස බැලීමට එම ජාතිකයින් පුරුදු වූ අතර එය හයි ටී ලෙසින් හඳුන්වනු ලබයි.

ප්ලැටර් ලෙසින් හඳුන්වනු ලබන තට්ටු කිහිපයකින් සමන්විත ආධාරකයක ඉතාමත් සීරුවට එම ආහාරයන් වර්ණවත් අයුරින් අසුරා පිළිගන්වනු ලබයි.


ආෆ්ටර්නූන් ටී ලෙසින්ද හඳුන්වනු ලබන හයි ටී පිළිගැන්වීමේද සුවිශේෂීත්වයක් වෙයි. එනම් ප්ලැටර් ලෙසින් හඳුන්වනු ලබන තට්ටු කිහිපයකින් සමන්විත ආධාරකයක ඉතාමත් සීරුවට එම ආහාරයන් වර්ණවත් අයුරින් අසුරා පිළිගන්වනු ලබයි. අප රස විඳි හයි ටී සංග්‍රහයේ පළමු තට්ටුව ස්මෝක්ඞ් සැමන්, කුකුල් මස්, සැල්දිරි සහ ඇපල්වලින් රසගන්වන ලද සැන්ඞ්විච්, කැනපි වැනි සිසිල් ආහාර අසුරා තිබූ අතර දෙවන තට්ටුවේ අසුරා තිබුණේ ෆ්‍රෙන්ච් ඔපේරා, බේක් කරන ලද යෝගට් ටාර්ට්, ෆජ්, රාස්බෙරි මැකරූන්, ආමන්ඞ් බ්‍රවුනි, කොන්සේතෝ, ග්‍රීන් ටී ටිරමුසු, ඉක්ලෙයාර් සහ චීස් කේක් වැනි පැණි රසැති ආහාරයන්ය. තුන්වන තට්ටුවේ ජෑම් සහ ක්‍රීම් සමඟින් ස්කෝන්ස් තබා තිබුණි. මීට අමතරව ගැඹුරු තෙලේ බැදගත් ඉස්සන්, සී ෆුඩ් වැනි දෑ ද හයි ටී සඳහා අයත් විය. අප රසවිඳි මෙම ආහාර සංකලනයේ සුවිශේෂීත්වය වන්නේ ස්වභාවික පළතුරු රසයන්, මස්, මාළු, චීස්, චොක්ලට්, කෝපි, හේසල් නට් වැනි රසයන් එක් කළ සැහැල්ලූ ආහාරයන් ගෙන් එය පොහොසත් වීමයි. ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් අමුද්‍රව්‍යයන් භාවිත කරමින් එම ආහාරයන් පිළියෙළ කරන බැවින් ඒවා තුළ වන්නේ උසස් තත්ත්වයකි. ශරීර සෞඛ්‍යයටද හිතකර බැවින් ඕනෑම කෙනෙකුට හයි ටී සංග්‍රහයක රසය විඳීමට හැකියාව පවතී.


ශ්‍රීලාංකිකයින් විවිධාකාරයෙන් හයි ටී à·„à·’ රස බැලූවත් නියම සාම්ප්‍රදායානුකූල එංගලන්ත හයි ටී සංග්‍රහය වන්නේ ඉහත සඳහන් කළ ආකාරයයි. නමුත් ශ්‍රීලාංකිකයින්ගේ දිවගට හුරු පුරුදු රසයන්ගෙන් යුත් චයිනිස් රෝල්ස්, කට්ලට්, පැටිස් වැනි ආහාරයන්ද මේ අතරට එක් කර පිළිගැන්වීමට හැකි අතර එය සම්ප්‍රදායානූකූල එංගලන්ත හයි ටී වලට වඩා තරමක් වෙනස් වන්නේ එලෙසින් එක් කරනු ලබන ආහාර වර්ගයන් නිසාය. එමෙන්ම ඔබගේ රුචිකත්වය අනුව එම ආහාර සඳහා එක් කරනු ලබන මස්, මාළු සහ එළවළු වර්ගයන් වෙනස් කරගැනීමටද හැකියාව පවතී.

හයි ටී යැයි කියු සැනින් ඕනෑම අයෙකුට සිතෙන්නේ එය ඉතාමත් මිල අධික සංග්‍රහයක් වනු ඇතැයි කියාය. නමුත් එහි ඇති විශේෂත්වය වන්නේ අපගේ පසුම්බියට පහසු මුදලකට හයි ටී සංග්‍රහයක මිහිර විඳීමට හැකිවීමය.


හයි ටී à·„à·’ මිහිර විඳීමට බොහෝ සෙයින් රුචිකත්වයක් දක්වන්නේ කාන්තා පාර්ශ්වයයි. ඒ අතර මැදි වියේ කාන්තාවන් සුවිශේෂ වන අතර අද වන විට තරුණ පරම්පරාවේද ඒ පිළිබඳව වැඩි නැඹුරුවක් දක්නට ලැබෙයි. එලෙසින් කාන්තාවන් වැඩි වශයෙන් හයි ටී සඳහා කැමැත්තක් දැක්වීමට හේතුව වන්නේ කවදත් විවිධාකාරයේ රසයන් විඳීමට ඔවුන් තුළ වන රුචිකත්වයයි. එමෙන්ම මැදිවියේ කාන්තාවන් අතර මෙය වඩාත් ප්‍රචලිත වීමට හේතුව වන්නේ ජීවිතයේ මැදි වයසට පැමිණීමත් සමඟ දූ දරුවන්ගේ කටයුතුවලින් නිදහස්ව නිසංසල දිවියක් ගත කරද්දී තම මිතුරියන් හමුවී ආ ගිය කතා සහ අතීත මතකයන් සිහිකරන අතර හයි ටී සංග්‍රහයක රස බැලීමට ඔවුන් තුළ වන කැමැත්තයි. එමෙන්ම උදය කාලයේ රැකියාවන්ගේ නිරත වන තරුණියන්ට සිය මිතුරියන් හමුවීම සඳහා රාත්‍රී කාලයේ යාමට ඇති හැකියාව මදය. එබැවින් ඔවුන් හමුවීමට හොඳම කාලය වන්නේ හවස් යාමයි. එලෙසින් හවස් යාමයේ හමුවී නිස්කලංක වටපිටාවක සිය මිතුරියන් සමඟින් සුහද කතා බහක නිරතවන අතර හයි ටී සංග්‍රහයක මිහිර විඳීමට ඔවුන්ගේ වැඩි කැමැත්තක් වෙයි. එමෙන්ම පවුලේ සාමාජිකයින් සමඟින්ද හයි ටී සංග්‍රහයක රසය විඳීමට වත්මන් සමාජය රුචිකත්වයක් දක්වයි.


හයි ටී යැයි කියු සැනින් සිතෙන්නේ එය ඉතාමත් මිල අධික සංග්‍රහයක් වනු ඇතැයි කියාය. නමුත් එහි ඇති විශේෂත්වය වන්නේ අපගේ පසුම්බියට පහසු මුදලකට හයි ටී සංග්‍රහයක මිහිර විඳීමට හැකිවීමය.


අවිවේකී දිනයක අවසානයේදී ඔබගේ සමීපතමයින් සමඟින් සුහද කතාබහක යෙදෙන අතරතුර හයි ටී සංග්‍රහයක රසය විඳීමට හැකියාවක් ලැබෙයි නම් එමඟින් ඔබගේ මනසටද නැවුම් ප්‍රබෝධයක් ලැබෙනු නිසැකය.


මෙම ලිපිය සැකසෙන්නේ කොළඹ හිල්ටන් හෝටලයේ සහය විධායක සූපවේදී අනුර උඩුවරආරච්චි මහතා සහ එම හෝටලයේ පේස්ට්‍රි අංශයේ සූපවේදී රංජිත් කපුකොටුව මහතා සමඟ පවත්වන ලද සාකච්ඡාවක් ඇසුරිනි.


High tea is a British tradition that is becoming increasingly popular in Sri Lanka. The elegant afternoon tea service with scones, cakes and sandwiches has been adapted portray the Island's multi-cuisine influences.