March 2017


රස රැසක මිහිර සමඟින් පමාවූ දිනක ඇරඹුම - බ්‍රන්ච් (Brunch)
March 2017




පසුබිමින් නැගෙන්නට වූයේ සුමියුරු බටහිර සංගීත ඛාණ්ඩයකි. ඒ අතර ඉතාමත් සොඳුරුවට අසුරා තිබුණේ වර්ණවත්වූ විවිධාකාරයේ ආහාර එකතුවකි. වේලාව පෙරවරු 11.30 පමණ විය. අල්ලාප සල්ලාපයේ යෙදෙමින් භෝජනාගාරයේ තැනින් තැන අසුන්ගෙන සිටි පිරිස අතරින් මේ අපූරු ආහාර එකතුවේ මිහිර විඳීම සඳහා අපිද එකතු වුණෙමු.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: මේනක අරවින්ද


බ්‍රන්ච් යනු ඉංග්‍රීසි බසින් උදෑසන ආහාරය හඳුන්වන බ්‍රෙක්ෆස්ට් යන වදන සහ දිවා ආහාරය හඳුන්වන ලන්ච් යන වදන එක් කිරීමෙන් ඉපදී ඇති නමකි. වචනයේ අර්ථයෙන්ම බ්‍රන්ච් යනු උදෑසන ආහාරයන්ගේ සහ දිවා ආහාරයන්ගේ එකතුවකි. එනම් ප්‍රමාද වූ උදෑසන ආහාරය සමඟින් දිවා ආහාරයද එකවර ලබාගැනීමයි. මේ වනවිට ලොව පුරා ප්‍රචලිතව ඇති බ්‍රන්ච් හි නිජබිම වන්නේ සුන්දර සංස්කෘතියකට උරුමකම් කියන එංගලන්තයයි. උදෑසන 10.00 සිට දහවල් 2.00 පමණ වන තෙක් කාලය බ්‍රන්ච් සඳහා සුදුසු කාලයයි. මූලික වශයෙන් බ්‍රන්ච් එකක සහ ලන්ච් (දි‍ථවා ආහාර) එකක පවතින ප්‍රධාන වෙනස්කම වන්නේ ලන්ච් එකකට වඩා වැඩි විශාල පරාසයක ආහාර එකතුවකින් බ්‍රන්ච් සමන්විත වීමය. උදාහරණයක් ලෙසින් සලාද වර්ග ගතහොත් බ්‍රන්ච් එකක සලාද වර්ග 15 ක් පමණ දක්නට ලැබෙයි. අනෙකුත් ආහාර වර්ගයන්ද එලෙසමය.


අද වන විට ආහාර සැකසීම මෙන්ම පිළිගැන්වීමද කලාවක් බවට පත්ව තිබේ. එය දේශයෙන් දේශයට, ජාතියෙන් ජාතියට මෙන්ම අපගේ රුචි අරුචිකම්වලට අනුව වෙනස් වෙයි. බ්‍රන්ච් යනු මෙලෙසින් විවිධ සම්ප්‍රදායන්ට අනුව විවිධාකාරයෙන් සකසන ලද ආහාර රැසක එකතුවකි. බ්‍රන්ච් බුෆේ ක්‍රමයට මෙන්ම අලාකාට් ක්‍රමයටද (අවශ්‍ය ආහාර ඇනවුම් කිරීම) ලබාගත හැකිය.


බුෆේ ආකාරයට සූදානම් කර තිබූ ආහාර අතරින් ඇවිද ගිය අපි නැවුම් පළතුරු යුෂ වීදුරුවක් සමඟින් අපගේ ආහාරවේල ආරම්භ කෙරුවෙමු. සිසිල් සහ උණුසුම් ආහාරයන්ගෙන් සමන්විත වන බ්‍රන්ච්, ආරම්භ කළ යුතු වන්නේ සිසිල් ආහාරයන්ගෙන්ය.


විවිධාකාරයේ සම්ප්‍රදායන්ට අදාළ වන විශාල ප්‍රමාණයක සිසිල් ආහාර එකතුවක්ද බ්‍රන්ච් බුෆේ සඳහා අයත් වෙයි. සලාද වර්ග (එළවලූ, මාලූ මෙන්ම මස් වර්ගයන්ද), බෙල්ලන්, කකුළුවන්, ඉස්සන් සහ දැල්ලන් ඇතුළු මුහුදු මත්ස්‍ය ආහාර මෙන්ම, සාම්ප්‍රදායික ජපන් ආහාර කලාවට අයත් සුෂී සහ සෂිමි ද අයත්ය. එමෙන්ම ටෝස්ට් කරන ලද පාන් සහ ක්‍රැකර් සමඟින් අපූරුවට සුසංයෝග වන විවිධාකාරයේ චීස් වර්ගයන්ද ඇතුළත්ය. එපමණක් නොව එම ආහාර එකතුවේ සුවිශේෂීත්වය වූයේ මුළුමනින්ම දේශීය ආහාර වර්ගයක් වන අච්චාරු වර්ගයන්ද එක් කර තිබීමයි. එමෙන්ම ඔබ ධාන්‍ය වර්ග හෝ වියළි පලතුරු වර්ග හෝ වෝල් නට්, පිස්ටාෂියෝ වැනි ඇට වර්ගයන් රස විඳීමට කැමති අයෙකු නම් ඒවාද ඔබගේ ආහාරයට එක් කරගැනීමට පුළුවන. මෙම ආහාරයන් නාසය, නෙත පමණක් නොව දිවද පිනවන බව වැටහුනේ එහි රසය විඳි පසුවය.


සිසිල් ආහාර ගැනීම අවසන් කළ පසු උණුසුම් ආහාර ගැනීම ආරම්භ කළ හැකිය. ප්‍රධාන ආහාරයන් අයත් වන්නේද එයටය. දුම් දමන සුප් කෝප්පකින් උණුසුම් ආහාර ගැනීම ඇරඹිය හැකිය. එහිදී විවිධාකාරයේ බ්‍රෙඞ් සහ බන් වර්ගයන්ද අන්තර්ගතය. ඒවා, ඔබගේ රුචිකත්වය අනුව ඒවා තෝරා ගැනීමට හැකියාව පවතී. එමෙන්ම ඔබ ඉන්දියානු ක්‍රමයේ ආහාරයක රසය විඳීමට කැමති නම් පූරි, පරාටා, තන්දුරි ඇතුළු ඉන්ත්දියානු ආහාරයන්ද, ඉතාලි ආහාරයක රසය විඳීමට කැමති නම් පැස්ටා ස්පෙගටි ආදී වූ ඉතාලි ආහාරයන්ද රසවිඳීමට හැකිය. එපමණක්ද නොව ඔබ අරාබි ආහාරයන්ගේ රසවතෙකු නම් ශවර්මා වැනි අරාබි ආහාරයන්ද රස විඳීමට මේ බ්‍රන්ච් බුෆේ ආහාර එකතුවේදී හැකියාව පවතී. එමෙන්ම මේ සියලූ ආහාර වර්ග සමඟ කදිමට ගැලපෙන ලෙසින් එක්කර ඇති බත්, එළවළු ව්‍යාංජන, මස්, මාළු මෙන්ම මාළු බැදුම්, පපඩම් යන සියල්ලෙන්ම සර්ව සම්පූර්ණ වූ ශ්‍රී ලාංකේය ආහාරයක රසය විඳීමටද අවකාශය තිබේ. එපමණක්ද නොව පොල් සම්බෝල, ලූණු මිරිස්, කට්ට සම්බෝල, පොල්, අමු මිරිස්, බදින ලද මිරිස් වැනි ඔබගේ දිවගට හුරු පුරුදු දේශීය රසයන්ද මෙම සුවිශේෂී රස ගොමුවේදී දක්නට ලැබෙයි.


බොහෝමයක් කුඩා දරුවන් රස බැලීමට රුචිකත්වයක් දක්වන පිට්සාද මෙම ආහාර එකතුවට අන්තර්ගතය. ඔබ මාංශ වර්ග සඳහා වැඩි රුචිකත්වයක් දක්වන්නෙක් නම් ඔබගේ කැමැත්තට අනුව තෝරාගත හැකි මාංශ ආහාරයන්ද බොහෝය. එමෙන්ම ඔබගේ රුචිකත්වයට අනුව තෝරා ගතහැකි ස්පාක්ලින් වයින්, බියර් හෝ මොක්ටේල් වර්ගයක්ද මේ සඳහා අයත්වෙයි.


මෙලෙසින් ආහාර ගැනීම අවසන් කළ පසු අතුරුපස ගැනීම ආරම්භ කළ හැකිය. එහිදීද සිසිල් මෙන්ම උණුසුම් ආහාරවල මෙන්ම සුවිශාල පරාසයක අතුරුපස එකතුවක්ද දක්නට ලැබෙයි. පළතුරු කැබලි, පුඩිං වර්ග, මූස් වර්ග, වෙල්වට් කේක් වැනි අතුරුපස අතරට එක් කර ඇති දේශීය අතුරුපස වර්ගයන් වන කිරි පැණි, හකුරු මෙන්ම හැලප, ආස්මි, විවිධ දෝසි වර්ගයන් ඇතුළු කැවිලි වර්ගද එහිදී තෝරා ගැනීමට පුළුවන. එපමණක් නොව විශේෂයෙන්ම කුඩා දරුවන් උදෙසා පළතුරු කැබලි, මාෂ්මෙලෝස්, ජුජුබ්ස් වැනි දරුවන් වැඩි වශයෙන් කැමැත්තක් දක්වන පැණි රසැති ආහාරයන්ද සමඟින් චොකලට් ෆවුන්ටන් එකක්ද එක් කර ඇත්තේ කුඩා දරුවන්ගේ රුචිකත්වයට මනාවට ගැලපෙන අයුරිනි.


වෙහෙසකර සතියක අවසානයේ ඔබගේ පවුලේ සාමාජිකයින් සමඟින් හෝ මිතුරු මිතුරියන් සමඟින් මෙවන් ආහාරයක මිහිර විඳීමට හැකි නම් එමගින් ඔබගේ ජීවන රටාවටද නැවුම් ප්‍රබෝධයක් එක්වනු ඇත. විවිධ ආහාරයන්හි රසය විඳින අතර සතුටු සාමිචියේ යෙදෙමින් ගෙවන එවන් දිනක වටිනාකමද වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය.


කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පැවැත්වෙන සන්ඩේ බ්‍රන්ච් ඇසුරින් මෙම ලිපිය සැකසිනි.


Brunch, a hearty combination of lunch and breakfast to be had anytime from 10 in the morning till 2 in the afternoon, is a popular English tradition. Brunch is usually enjoyed on weekends, when wake-up time stretches to ten or even beyond.


A combination of breakfast favourites and lunch dishes, the brunch tends to be a bigger meal than any other. The writer's experience of a brunch unfolds from a glass of fruit juice, then an array of cold dishes of meats, seafood, sushi, sashimi, toasts, a spread of cheeses, grains, nuts and dried fruit. They have added local acharu as well. The selection of hot food starts with soup. There is a table of breads, Indian staples including parata and puri, Italian staples, Arabic food, and a complete Sri Lankan rice and curry buffet.There is pizza where you can pick toppings, and a combination of spirits. A decadent abundance of local and standard desserts wrap it up, with smaller sweets for children and a chocolate fountain.


This article was compiled based on the Sunday Brunch at the Kingsbury, Colombo.

 

  • image01
    image01

    අලංකාරවත් ලෙසින් සූදානම් කර ඇති බ්‍රෙඞ් සහ බන් එකතුව

    Prev Next
  • image01
    image01

    සිසිල් ආහාර එකතුවට අයත් හැම් සහ දේශීය අච්චාරු වර්ග

    Prev Next
  • image01
    image01

    ටෝස්ට් කරන ලද පාන් සහ ක්‍රැකර් සමඟ සැසඳෙන චීස් එකතුව

    Prev Next
  • image01
    image01

    දිව මෙන්ම නෙතද පිනවන පළතුරු කැබලි

    Prev Next