දෙවියන් පිනවන කාවඩි
January 2018

මේලම් වාදනයට අනුව පාද තබමින් කාවඩි නර්තනයේ යෙදීමට සූදානම් බැතිමතුන්

හදවතේ ඇති භක්තිය මුහුණෙන් පිළිඹිබු වන ලෙසින් ”හරෝ හරා” ගායනයේ යෙදෙන පිරිසකි. ඊට තරමක් එපිටින් අලංකාරවත් ලෙසින් සැරසූ කාවඩි à·„à·’à·ƒ දරා රිද්මයානුකූලව පා තබනා බැතිමතුන්ය. මේ සියලුදෙනාම එකතුවී සිටින්නේ මුරුගන් දෙවියන් හෙවත් කතරගම දෙවියන් උදෙසා කාවඩි නර්තනයේ යෙදීමටය.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: වර්ණන් සිවනේසන්


කාවඩි ලෙසින් දමිළ බසින් හැඳින්වෙන වචනයේ අරුත වන්නේ කාදවුල් යන්නයි. එහි සිංහල අරුත වන්නේ ඔසවාගෙන යෑමයි. අද වනවිට ශ්‍රී ලංකාවේ හින්දු ජනතාව මෙන්ම බෞද්ධ ජනතාවද ඉතාමත් බැතිබරත්වයෙන් යුතුව දෙවියන් උදෙසා පවත්වන පිළිවෙතක් වන කාවඩිහි ඉතිහාසයද සුර අසුර යුද්ධ පැවති කාලය දක්වා ඈත අතීතයට දිවයයි.


කාවඩි පිළිබඳ ඓතිහාසික කතා පුවත


ඊශ්වර දෙවියන් හිමාලයේ සිටි අගත්තියර් නම් වූ ඍෂිවරයා දකුණට යැවීමට කටයුතු කර තිබෙන්නේ එහි විසූ අසුරයන් යහමගට ගැනීම සඳහාය. එම කාලයේදී පාර්වතී පරමේශ්වරම් (පාර්වතී දේවිය සහ ඊශ්වර දෙවියන්ගේ) විවාහ මංගල්‍යයද සූදානම් කර තිබුණි. මෙම අගත්තියර් ඍෂිවරයා පැය විසිහතර පුරාවටම ඊශ්වර දෙවියන්ට සහ පාර්වතී දේවියට වැඳුම් පිඳුම් කරන භක්තිමත් අනුගාමිකයෙක් විය. එබැවින් ඔහු ඊශ්වර දෙවියන් සිටින ඉසව්වෙන් ඉවත්වී යාමට දැඩි අකමැත්තක් දක්වා තිබේ. එමෙන්ම එම විවාහ මංගල්‍යයට සහභාගි නොවී යෑමට සිදුවීම පිළිබඳවද දුකට පත්ව ඇත. එහිදී ඊශ්වර දෙවියන් තමන් දෙපස පිහිටි කඳු දෙකක් වන ශිවගිරි සහ ශක්තිගිරි කඳු දෙක පෙන්වා පවසා ඇත්තේ “ඒවා ගෙන යන්න. අප දෙදෙනා මෙන් එම කඳු දෙක ඔබත් සමඟ සිටිනු ඇත. එමෙන්ම අපේ ආශිර්වාදය ඔබත් සමඟ සෑම මොහොතකම පවතින බැවින් දකුණට ගොස් ඔබගේ යුතුකම ඉටුකරන්න.” යනුවෙනි. ඒ අනුව ලී දණ්ඩක දෙකෙලවර එම කඳු දෙක සම්බන්ධ කර එසවීම පළමු කාවඩිය ලෙසින් හින්දු ඉතිහාසයේ සඳහන් වෙයි.


අගත්තියර් ඍෂිවරයා වෙනුවෙන් එම කඳු දෙක සහිත කාවඩිය ඔසවාගෙන ගොස් තිබෙන්නේ ඉඩුම්බන් නම් භූතයාය. එහෙත් අතරමගදී ඉඩුම්බන් හට දැනුණු විඩාව නිසා එම කඳු දෙක සහිත කාවඩිය මදකට බිමින් තබා ගිමන් හැර තිබේ. එම ස්ථානය පලනි නම් වේ. එහෙත් ගිමන් හැර කාවඩිය ඔසවන්නට කෙතරම් උත්සහ කළත් එය එසවීමට නොහැකිවී තිබේ. එතැන් සිට මුරුගන් දෙවියන් විසින් ඉඩුම්බන් හා ඔහුගේ බිරිඳව එම කඳු දෙක වෙත වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ව ආරක්ෂා කිරීම සඳහා පත්කළ බවද හින්දු ඓතිහාසික කතාවල සඳහන්ය.


ඉන්දියානු මෙන්ම ශ්‍රී ලංකා වාසීන්ද තමන්ට ඇතිවන විවිධ ගැටලු අවස්ථාවලදී කාවඩි උත්සව පවත්වනු ලබයි. එහිදී අවශ්‍යතාවයන්ගේ ස්වරූපය අනුව පුද කරනු ලබන කාවඩි වර්ග 20 ක් පමණ හින්දු සංස්කෘතියේ වෙයි.


කාවඩි වර්ග පොන්


(රත්තරන්) කාවඩි
- මෙමගින් බලාපොරොත්තු වන්නේ දීර්ඝ කාලයක් පුරාවට එය පුදකරන්නාගේ නම ලොව පුරා ප්‍රසිද්ධවීමයි.


වෙල්ලි (රිදී) කාවඩි - යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා දේව ආශිර්වාදය පතා පූජා කරනු ලබයි.


පාල් (කිරි) කාවඩි - යහපත් මූල්‍යමය තත්ත්වයක් පවත්වාගෙන යැමේ අපේක්ෂාවෙන් පූජා කරයි.


සන්දන (හඳුන්) කාවඩි - ලෙඩ දුක් නොමැතිව නිදුක් නිරෝගී දිවියක් පතන අයෙකු නම් පූජා කළ යුතු වන්නේ සන්දන කාවඩි ය.


පන්නීර් (සුවඳ පැන්) කාවඩි - මානසික ප්‍රශ්න දුරුකර මානසික සුවයක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් පන්නීර් කාවඩි පූජා කිරීම සුදුසුය.


සක්කරෙයි (හකුරු/උක් පැණි) කාවඩි - දරු සම්පත් අපේක්ෂා කරන්නේ නම් සක්කරෙයි කාවඩි පුජා කිරීමෙන් සුබ ප්‍රතිඵල ලබාගත හැකිය.


අන්නක් (කැකුළු සහලේ බත්) කාවඩි - මෙය පිදීමෙන් දිළිඳු භාවයෙන් මිදීමේ අවස්ථාව උදාවේ යැයි හින්දු දහමේ විශ්වාසයක් වෙයි.


ඉලනීර් (තැඹිලි) කාවඩි - සම සම්බන්ධ රෝගවලින් පීඩා විඳින්නෙකුට ඉලනීර් කාවඩියක් පූජා කිරීමෙන් සුවය අපේක්ෂා කළ හැකිය.


අලංගාරක් (අලංකාර ලෙසින් සැරසූ) කාවඩි
- විවාහ ප්‍රමාද දෝෂයන් ඇති අයට එම ප්‍රමාදයන් දුරුකරලීම සඳහා අලංගාරක් කාවඩි පුජා කළ හැකිය.


අග්නි (ගින්දර) කාවඩි - ඇස්වහ කටවහ, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී අහිතකර බලපෑම් කපාහැරීමට සුදුසුම පිළියම වන්නේ අග්නි කාවඩි පුජා කිරීමයි.


කට්පූරක් (කපුරු) කාවඩි - උදරාශ්‍රිත රෝගාබාධයන්ගෙන් පෙලෙන්නේ නම් එයින් මිදීම සඳහා මෙම කාවඩි වර්ගය පූජා කළ හැකිය.


සර්ප (නාග රූප සහිත) කාවඩි - දරු සම්පත් අපේක්ෂාවෙන් සිටින යුවලකට මෙම කාවඩියක් පුජා කිරීමෙන් එය ඉෂ්ඨකරගැනීමට පුළුවන.


මංජල් (කහ) කාවඩි - දිවිය සරුවීම සඳහා මංජල් කාවඩි පුජා කළ හැකිය.


සේවල් (කිකිළි) කාවඩි - සතුරු උවදුරු දුරුකරලීම අපේක්ෂාවෙන් භාරවූ පසු පූජා කළ යුතු කාවඩි වර්ගය වන්නේ මෙම වර්ගයයි.


පුෂ්ප (මල්) කාවඩි - ප්‍රාර්ථනා කරන ලෙසින් ආදර සම්බන්ධතා සඵල වෙන්නත්, විවාහයන් ප්‍රමාද වන අයත් භාරවී එය ඉටුවූ පසු පූජා කළ යුතු වන්නේ මේ කාවඩි වර්ගයයි.


තේර් කාවඩි - ව්‍යසන සහ වසංගත ආදියෙන් රට වැසියා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙවියන්ට ස්තූති කිරීමක් ලෙසින් ගමේම පිරිස එකතුවී අලංකාරවත් ලෙසින් සරසන ලද රථයක් ඇදගෙන යනු ලබයි.


මච්ච කාවඩි - නඩුවලින් නිවැරදි‍ථ තීන්දු ලබාගැනීමේ අරමුණින් භාරවී එය ඉටුවූ පසු මෙම කාවඩි වර්ගය පුද දෙනු ලබයි. “තූක්කු කාවඩි” ලෙසින් හැඳින්වෙන සිරුරට කටු ගසා ඇදගෙන යාමේ කාවඩි ක්‍රමය මෙන්ම “පරවයි කාවඩි” ලෙසින් හඳුන්වන සිරුරට කටු ගසා කුරුල්ලෙකු මෙන් එල්ලා ගෙන යාමේ කාවඩි වර්ගයද අයත් වන්නේ මච්ච කාවඩි ගණයටමය.


මයිල් (මොණරා) කාවඩි - පවුලේ ප්‍රශ්න නැතිව සතුට සමාදානය ඇතිවීම සඳහා සුදුසු වන්නේ මේ කාවඩි පූජා කිරීමයි. පලක් (පලතුරු) කාවඩි - රැකියා දියුණුවී හොඳ ආදායමක් ලැබීමේ අරමුණින් පූජා කළ යුතු වන්නේ පලක් කාවඩි ය.


වේල් කාවඩි - මෙම කාවඩි පුදකිරීමෙන් සතුරන්ගෙන් ආරක්ෂාවීම අපේක්ෂා කරන අතරම සතුරන් තමන්ට මෙල්ල කරගැනීමේ අරමුණින්ද සිදුකරනු ලබයි.


කාවඩි පූජාව සඳහා පූර්ව සූදානම්වීම - කාවඩියක් දැරීමට පෙර දින 6 ක් පමණ පිළිවෙත් පිරිය යුතුය. එමෙන්ම අවම වශයෙන් දින 3 ක් වත් නිර්මාංශවීමත් අත්‍යාවශ්‍යය.


කාවඩි පූජා පැවැත්වෙන විශේෂිත දින
- ඒ සඳහා විශේෂිත දිනය වන්නේ තෛ පූසම් ලෙසින් හඳුන්වන ජනවාරි පොහොය දිනයයි. ඊට අමතරව කතරගම දෙවියන් උදෙසා සුවිශේෂ වන ආඩි (ජූලි) මාසය, මාසි මහම් (පෙබරවාරි), පන්ගුනි උත්තරම් (මාර්තු), චිත්‍රා පෞරමි (අප්‍රේල් පොහොය දින), වෛවාසි විසාහම් (වෙසක් පෝය) යන දිනවලදී හා කාලවලදී ලංකාව පුරාම මුරුගන් දේවාලවල කාවඩි උත්සව පවත්වනු ලබයි.


ශ්‍රී ලංකාවේ කාවඩි උත්සව පැවැත්වෙන ස්ථාන අතර යාපනයේ සෙල්ල චන්දි යනු දිනපතාම කාවඩි උත්සව පැවැත්වෙන ස්ථානයයි. ඊට අමතරව නල්ලූර් සහ කතරගම යනු මෙරට කාවඩි උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන මුරුගන් කෝවිල් වෙයි.


මෙම ලිපිය සැකසෙන්නේ බම්බලපිටියේ පුජ්‍ය මනී ශ්‍රීනිවාස කුරුක්කල්තුමන් සමඟ පැවති සාකච්ඡාවක් ඇසුරිනි.


Kavadi is a dance of worship practised by devotees of Lord Murugan. It is a custom steeped in Hindu mythology and is an integral part of many festivals. The name is derived from the word ‘kaadavul’, which means ‘carrying’; and is usually performed to seek the assistance of Lord Murugan. In Sri Lanka, there are several types of Kavadi performed by followers of both Hinduism and Buddhism. The most famous Kavadi processions are seen at the Nallur Kandaswamy Kovil and Kataragama Devalaya. Kavadi processions are mainly seen during the Hindu month of Aadi (from mid-July to mid-August), which is dedicated to Lord Murugan, however the ritual takes place during other months as well. Special preparation is required and devotees only consume vegetarian meals prior to the Kavadi ritual.

  • image01
    image01

    බැතිබරත්වයෙන් යුතුව කට්පූරක් කාවඩි හිස දරා

    Prev Next
  • image01
    image01

    පාල් කාවඩි පූජා කරන්නට යන කාන්තාවක්

    Prev Next
  • image01
    image01

    මයිල් කාවඩියක් දරා දේව වන්දනාවට සූදානම්වූ ළමා බැතිමතෙක්

    Prev Next
  • image01
    image01

    පියාඹන පක්ෂියෙකුගේ ස්වරූපය ඇති පරවයි කාවඩි

    Prev Next