රස රැසක මිහිර ගෙනෙන ඉන්දීය ආහාර
August 2018

රස ආකරයක මිහිර ගෙනෙන තාලි

මේසය මතට පිළිගැන්වූයේ මසිත කුල්මත් කරවන ආකාරයේ සුවඳින් දුම් නැගෙනා ආහාර බඳුන්ය. රසේන්ද්‍රියන් අවදිකරවන උතුරු ඉන්දියානු ආහාරපාන කලාව මෙතරම් සුවිශේෂ වන්නේ ඔවුනටම ආවේණිකවූ ඉවුම් පිහුම් ආකාර සහ කුළුබඩු සම්මිශ්‍රනය නිසා බව මා හට පසක්වූයේ ඒත් සමඟය.


සටහන: දාර්ශිනි පාර්තිපන්
ඡායාරූප: මේනක අරවින්ද


ඉතා විශාල භූමි පරාසයක විහිදුණු අසල්වැසි ඉන්දි‍යාවේ සෑම ප්‍රාන්තයකටම පාහේ ආවේණිකවූ ආහාරපාන කලාවක් ඇත. මෙතරම් රසයෙන්, වර්ණයෙන් සහ පෝෂණ ගුණයෙන් එකිනෙකට නොදෙවෙනිවූ මෙම සාම්ප්‍රදායික ආහාර වට්ටෝරුවල තතු ලොව සතර දෙසම පැතිරීම පුදුමයක් වන්නේ නැත.


ඉන්දියානු ආහාරපාන කලාව රස ගුණ දෙකේම අපූරු සංකලනයකි. නම කියූ පමණින් ආහාර රුචිය වඩවන බටර් චිකන් කරිය අපට එරටින් දායාදවූවකි. මෙලෙස ඉන්දියානු සූප ශාස්ත්‍රයේ බොහෝමයක් ආහාරපාන අපේ දිවගට අමුත්තක් නොවේ. ඔවුන් බොහෝවිට මිරිස්, කහ, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, එනසාල්, අබ, කුරුඳු, කුංකුම (සැෆ්රන්) සහ මිංචි ආදී කුළුබඩු සමූහයක් ආහාරවලට මුසුකරන අතර මද ගින්නේ බොහෝ වේලාවක් පිසගනු ලබයි.


සිහින් ගිනිදලූ නගන තන්දුරි උදුනේ පිසෙන පුල්කා රොටී බොහෝ ඉන්දියානුවන්ගේ කෑම පිඟානේ නොවරදින අංගයකි. මෙලෙස පරාතා රොටී, නාන් රොටී සහ රුමාලි රොටී ආදී වශයෙන් බොහෝමයක් රොටී වර්ග සාදන්නට ඔවුන් හපන්කම් දක්වයි. මෙම රොටී වර්ග බොහෝ වෙලාවට පදමට මිශ්‍රකළ කුළුබඩු හෙවත් මසාලා රසය මුසුකර මට්න් මස් කරියක් සමඟ හෝ රසවත් අල ව්‍යාංජනයක් සමඟ ආහාරයට ගනු ලබයි. රොටී මැදට රසවත් පිරවුමක් යොදා පිළිගන්වන අවස්ථාද එමටය.

ඉන්දියානු ආහාරපාන කලාව රස ගුණ දෙකේම අපූරු සංකලනයකි. මෙලෙස ඉන්දියානු සූප ශාස්ත්‍රයේ බොහෝමයක් ආහාරපාන අපේ දි‍වගට අමුත්තක් නොවේ.


කුඩා මැටි බඳුනක පුල්කා රොටියකින් වසා පිළිගන්වන බිරියානි යනු ලොවම මන්මත් කළ රසවතෙකි. මුරුග් මලායි ටික්කා, කලූවට පිසූ පරිප්පු ව්‍යංජනයක් සහ නැවුම් සලාදයක් සමඟ මේසයට පැමිණෙන බිරියානි යනු රස මසවුලකි. මුරුග් මලායි ටික්කා සාදන්නේද තන්දුරි උදුනේ පිසගැනීමෙනි.


පරිපූර්ණ ආහාර වේලක් වන "තාලි" යනු ප්‍රමාණයෙන් විශාල බන්දේසියක් මත අලංකාර ලෙස ඇසිරූ විවිධාකාර ආහාර දීසි අටක්ය. ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට තාලිහි අන්තර්ගතය වෙනස් වුවත් එය වෙනස්ම ආකාරයක සංග්‍රහයකි. තාලිහි අන්තර්ගතය එකිනෙකාගේ කැමැත්ත අනුව වෙනස්වූවත් බොහෝවිට කජු සහ ගිතෙල් ආදිය සමඟ පිසූ බත් හෝ රොටී වර්ග, කුකුල් මස් කරියක්, එළවළු ව්‍යාංජන කිහිපයක්, ධාන්‍යමය ආහාරයක්, රයිතා, මිංචි චට්නි (මිංචි සම්බෝලයක්), රසම් සහ අතුරුපසකින් එය සමන්විත වෙයි.


චානා මසාලා, පනීර් බටර් මසාලා, බින්දි‍ ජායිපූරි සහ පින්ඩි චානා යනු නිර්මාංශ ආහාරලෝලීන්ට පිළිගන්වන රසවත් ආහාර වට්ටෝරු වෙයි. කීර්, උණුකළ සීනි, පිශ්ටාෂියෝ සහ කිරි යොදා සකසන රසමලායි මෙන්ම හල්වා, රසගුල්ලා සහ ගුලාබ්ජාමුන් යනු ඉන්දි‍යානුවන් මෙන්ම ලොව බොහෝ රස හඳුනන්නන් තලූමර මර රසවිඳින අතුරුපස වර්ගයි. රස ගුණ පිරි මෙවැනි ආහාර වේලකින් අනතුරුව බීඩා හෝ සූකිරි වැනි යමක් පිළිගැන්වීම ඉන්දියානුවන්ගේ සිරිතයි.


සිසිල ගෙනෙන මිහිරි ඉන්දියානු පානයක් වන ලැසී, මීකිරි සමඟ අඹ වැනි පළතුරක් හොඳින් පොඩිකර හෝ යුෂ ලෙසින් එක් කිරීමෙන් සාදාගනු ලබයි. ඔවුන් බොහෝදෙනා අතර ජනප්‍රි‍ය තරමක් සැර රසයකින් යුත් මසාලා චායි යනු තේ සමඟ ඖෂධීය ගුණයෙන් යුත් කුළුබඩු මිශ්‍රකර සැකසූවකි. චාස් යනු මීකිරි හෝ යෝගට්, අමුමිරිස් කැබලි, මිංචි කොළ, කොත්තමල්ලි සහ ලූණු එක්කර සැකසූ ඔසු පානයකට සමාන වන්නකි.


ඔබත් ඉඩ හසර ලද මොහොතක රසවත් ඉන්දියානු ආහාර වේලක රස බලන්නට අමතක නොකරන්න. එය ඔබේ කුසට මෙන්ම සිතටත් නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානයි.


මෙම ලිපිය සැකසෙන්නේ ටාජ් සමූද්‍රා හෝටලයේ නවරත්න අවන්හලේ විශේෂ සූපවේදී භූමි චෞහාන් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි.


Indian food is quintessentially popular across the globe and never fails to express its significant flavours. Indian cuisine is an expression of the diverse culture and it is a gastronomic delight to the diner with many varieties of lavish desserts, flavoursome beverages and scrumptious snacks. It allows one to savour the many different kinds of food prepared according to various styles. Especially North Indian cuisine is a hearty combination of exotic flavours and nutrients. The wide range of Indian breads served with tempting accompaniments captivate the taste buds. The aromatic dish of Pot Biriyani accompanied by curries and salads is a wholesome meal. "Thali" is an assortment of eight dishes served along with a delicious dessert.


This article was compiled with details provided by Chef Bhoomi Chauhan of Navratna Restaurant from Taj Samudra Hotel.

  • image01
    image01

    සියල් ගුණයෙන් සපිරි ආහාර වේලක් රසවත් කරනා කලමනා

    Prev Next
  • image01
    image01

    තන්දුරි උදුනේ පිසෙන පුල්කා රොටී

    Prev Next
  • image01
    image01

    ගුණයෙන් පිරි චාස්

    Prev Next
  • image01
    image01

    රසවත් බිරියානි

    Prev Next
  • image01
    image01

    මිහිරි අතුරුපස රසමලායි

    Prev Next