තේ රසයට නව අරුතක්
September 2018

මනස අවදිකරවන උණුසුම් ඉඟුරු තේ

දීප්තිමත් රතු පැහැති තේ කෝප්පය සමඟ මුසුවූ සුවඳ නාස් අග රැඳුනේ එහි රස විඳීමට මා සිත පොළඹවමිනි. ඒ සමඟින්ම මද රස්නයෙන් යුතු තේ උගුරක පහස ලැබුවේ සුපුරුදු නැවුම් තේ රසයට නොදෙවනි රසයකින් ගත මෙන්ම සිතද මුසපත්වෙද්දීය.


සටහන: අනුරාධා පෙරේරා
ඡායාරූප: මේනක අරවින්ද


උදෑසනින් අවදි‍ථවන ශ්‍රී ලාංකික අපි පුරුදුව තිබෙන්නේ උණුසුම් තේ කෝප්පයක රසය බලා දවස ඇරඹීමටය. සිය රුචි අරුචිකම්වලට අනුව එයට කිරි, සීනි අඩු වැඩි වශයෙන් යොදා පානය කරත්, කහට කෝප්පයක් ලෙසින් පානය කරත් එය හඳුන්වන්නට අප පුරුදුව සිටින්නේ තේ යනුවෙනි. එලෙසින් අරඹන දවස තුළ තේ කෝප්ප දෙක තුනකට වඩා පානය කිරීමට බොහෝමයක් ශ්‍රී ලාංකිකයින් පුරුදුව සිටියි. වෙහෙසකර දිවියට අස්වැසිලල්කටත්, විඩාව සන්සිදුවීමටත්, කම්මැලිකමක් නිදිමතක් මගහරවා ගැනීමටත් මෙන්ම අල්ලාප සල්ලාපයේ යෙදෙන අවස්ථාවක සතුට විඳින්නේත් තේ කෝප්පයක් රස බලමින්ය. ගත මෙන්ම සිතද ප්‍ර‍බෝධමත් කරවන තේ යනු බටහිරින් අපට උරුමවූ ජීව ගුණයෙන් අනූනවූ පානයකි.


ලොව බොහෝ යහපත් සොයාගැනීම් සිදුව තිබෙන්නේ අහඹු සිදුවීම් මගිනි. තේ යනු එලෙසින් අහඹු සිදුවීමකින් බිහිවූ ලොවම ප්‍රබෝධමත් කළ පානයකි. ලොවට තේ හඳුන්වාදෙනු ලබන්නේ චීනයෙනි. ඒ මීට සියවස් ගණනාවකට පෙර ඔසු සඳහා ප්‍ර‍සිද්ධියට පත්ව සිටි ෂෙන්නුන් නම් චීන අධිරාජ්‍යයාගේ කාලයේදීය. ජලය උණු කර පානය කිරීමට පුරුදුවී සිටි ඔහු දිනක් ඔසු වර්ග සොයා වනගතව සිටි අවස්ථාවක පානය කිරීම සඳහා උණු කරන ලද ජල බඳුනට ඉහළින් තිබූ ගසක කොළ වැටී ඇති අතර එම ජලය පානය කළ අධිරාජ්‍යයා එයින් දැනුණු සුවිශේෂී රසයෙන් සතුටට පත්වී එම ගස් වර්ගය ගෙන ගොස් සිය මාලිගාව වටා සිටවූ බවට ඉතිහාසයේ සඳහන් වෙයි. ෂෙන්නුන් අධිරාජ්‍යයාට අහඹු අයුරින් සුවිශේෂී රසයක් ගෙන ආ ඒ කොළ වර්ගය කැමීලියා සිනෙන්සිස් යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන තේ ය. ලොවක් මුසපත් කරවන තේ පානයේ උපත එසේ සිදුවන විට ජේම්ස් ටේලර් නම් බ්‍රිතාන්‍යය ජාතික වැවිලිකරු විසින් ලංකාවට තේ හඳුන්වා දෙන ලදී.


කළු තේ (Black Tea) සුදු තේ (White Tea) සහ හරිත තේ (Green Tea) යනුවෙන් ප්‍රධාන ප්‍රභේද තුනකට ගැනෙන තේ උණුසුම් තේ මෙන්ම සිසිල් තේ (Iced Tea) ලෙසින්ද පානය කරයි.


ලොවක් මුසපත් කරවන රසගන්වනලද තේ (Flavoured Tea)
තේ රසයට නැවුම් වෙනසක් ගෙන එමින් බිහිවූ රසගන්වන ලද තේ යනු අද වනවිට ලොව සෑම දෙනෙකුම රුචිකත්වයක් දක්වන පානයකි. බටහිර ලොව පැරණිතම රසගන්වන ලද තේ වර්ගය වන්නේ අර්ල් ග්‍රේ තේය. එය බිහිවූයේ දෙහි කුලයට අයත් පළතුරක් වන බර්ගර්මොට් රසයෙන් රසගවන්වමිනි. නමුත් චීන ජාතිකයින් ලොවට මුලින්ම හඳුන්වාදුන් රසගන්වනලද තේ වර්ග වන්නේ ලැප්සන්ග් ෂුශොන්ග් තේ වර්ගයයි. එය චෙරි සහ උණ කොළ රසයෙන් රසගන්වා තිබේ. එමෙන්ම චීන ජාතිකයින් ලොවට හඳුන්වා දුන් සුවිශේෂීතම රසගන්වනලද තේ වර්ගය වන්නේ ජැස්මින් රසැති තේය.


මෙලෙසින් ඇරඹී තේ රස ගැන්වීමේ කලාව අද වනවිට ඉතා විසල් පරාසයක විහිදී තිබේ. සිය ගණනක රසයන් සමඟින් අපූරුවට සංකලනය වෙන තේ රසය එම රසගැන්වීම් සමඟින් තව තවත් රසයෙන් සහ ගුණයෙන් වැඩිවී තිබේ. තේ රස ගැන්වීම සඳහා භාවිත කරනු ලබන්නේ ස්වභාවික රසයන්මය. ඒ අතර ලෙමන්, පීච්, ඉඟුරු, මින්ට් (මිංචි), ස්ට්‍රෝබෙරි, බ්ලැක් බෙරි, රාස් බෙරි වැනි රස වර්ගයන් වැඩි වශයෙන් භාවිත වෙයි.


ලොව විවිධ රටවල ඉල්ලුම පවතින්නේ එකිනෙකට වෙනස්වූ රසගැන්වූ තේ වර්ගවලටය. මොරොක්කෝවෙන් වැඩි ඉල්ලුමක් පවතින්නේ මින්ට් තේවලටය. මැද පෙරදිග රටවල වැඩි ඉල්ලුම රෝස රසයටය. බටහිර රටවල් කැමැත්තක් දක්වන්නේ ලෙමන් සහ පීච් රසයටය. රසගැන්වීම සඳහා කළු තේ පමණක් නොව හරිත තේ ද ඉතාමත් හොඳින් ගැලපෙයි. නමුත් එහිදී හරිත තේ සමඟින් මිශ්‍ර‍ කළහැකි රසකාරකයන් පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුමය. ස්වභාවික රසය සහ සාරය එලෙසින්ම පවත්වා ගනිමින් සාදාගනු ලබන රසයයන් තේ සමඟින් මිශ්‍රකර සති දෙකක පමණ කාලයක් තැබීමෙන් පසු රසගැන්වීමේ ක්‍රියාවලිය අවසන්වෙයි.

 

ඔසු ගුණෙයෙන් සාරවත්වූ ඉන්ෆියුෂන් (Infusion)
මල්, පත්‍ර වැනි ශාක කොටස් නටන උණු වතුරෙන් තම්බා ලබා ගන්නා සාරයෙන් යුත් පානයන් ඉන්ෆිෂුයන් ලෙසින් හැඳින්වෙයි. පෙපර්මින්ට්, කැමොමයිල් මල්, රොයිබුෂ් (රෙඞ් බුෂ්), බෙලි මල්, රණවරා, පොල්පලා, සපත්තු මල් (වද මල්) සහ ඉරමුසු වැනි ඖෂධීය පාන වර්ග මේ සඳහා උදාහරණ ලෙසින් දැක්විය හැකිය.

 

දිවට හුරු පුරුදු සීනි සහ කිරි යෙදූ තේ කෝප්පයක් වෙනුවට තේ රසය නොනසා එහි රස තවත් වැඩි කරවන ස්වභාවික රසයක් සමඟ උණුසුම් තේ කෝප්පයක හෝ සිසිල් තේ වීදුරුවක රස විඳ බලන්න. එයින් ඔබගේ දිව පමණක් නොව සිතද සුවපත්වනවා නොඅනුමානය.


මෙම ලිපිය සැකසෙන්නේ Mlesna ආයතනයේ තේ අධ්‍යක්ෂක අර්ජුන පෙරේරා මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි.


Ceylon Tea for centuries has been an integral part of the Sri Lankan heritage. Although it is globally renowned as the beverage of the island, the discovery of tea originates from ancient China. Black, white and green tea are the three main varieties of this aromatic beverage, and it can be consumed both hot or cold, according to your preference. Inspired by the taste of Earl Grey Tea, flavoured tea was created, which is quite different to the traditional brew. An abundance of over a 100 tempting flavours includes lemon, peach, cinnamon and mint. Flavoured tea is generally consumed without sugar; the rich essences not requiring any additional sweetening. Traditional fusion teas involve brewing the ingredients without supplementary flavourings. Inspired by a celebrated history, Ceylon Tea will continue to be a part of the island's very soul.


Information and support for photography was provided by Arjuna Perera, Tea Director, Mlesna.

  • image01
    image01

    මිහිරි සුවඳින් සහ ඉමිහිරි රසයෙන් යුත් ස්ට්‍රෝබෙරි අයිස් ටී

    Prev Next
  • image01
    image01

    උණුසුම් හරිත තේ සමඟින් කදිමට පෑහෙන මින්ට් රසය

    Prev Next
  • image01
    image01

    ගතට ගුණ දෙන උණුසුම් කුරුඳු තේ

    Prev Next
  • image01
    image01

    රසගන්වනලද තේ කලාවේ ආරම්භක - අර්ල් ග්‍රේ‍

    Prev Next
  • image01
    image01

    දාහයට සිසිල ගෙනෙන ලෙමන් අයිස් ටී

    Prev Next