සැමදෙන සමඟින් බෙදා ගන්නා දේවාශිර්වාදය - ප්‍රසාදම්
April 2018

පූජා සඳහා සූදානම් කර ඇති වඩේ, කඩල, මෝදගම්, පොංගල් සහ කෙසෙල්

හදෙහි උපන් ශ්‍රද්ධා භක්තිය මුවඟින්ද පිළිබිඹු වන ලෙස දේව කුටිය (සන්නිදානම්) දෙස දෑස් අයා පහන් තැටි අතින් ගත් බැතිමතුන්ගෙන් කෝවිල් බිම පිරී පැවතුණි. බැතිමතුන් හට ආශිර්වාද කරමින් පැවති අර්චනෙයි නම්වූ යාතිකාව අවසන් විය. ඒත් සමඟින් දේව කුටිය තුළින් එළියට ගත් බ‍ඳුන්වල වූයේ වඩේ, කඩල, පොංගල්, පන්ජාමිර්තම් වැනිවූ ප්‍රසාදම් වර්ගයන්ය. ඉන් අනතුරුව එක් පෙළකට පෙළගැසුණු බැතිමතුන් සූදානම් වූයේ දේවාශිර්වාදය සහිත ප්‍රසාදම් ලබාගැනීමටය.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: මේනක අරවින්ද


මිනිසුන් ලෙසින් අප කාගේත් බලාපොරොත්තුව වන්නේ අප ලැබූ ජීවිතය සතුටින් ගතකිරීමය. ඒ සඳහා අප බොහෝවිට පුරුදු පුහුණුවී තිබෙන්නේ ආශීර්වාද ලබාගැනීමටය. කුමන ආගම ඇදහුවත් අප සිදුකරනු ලබන සෑම සුබ කටයුත්තකදීම එය සාර්ථක වන ලෙස සිය ආගමේ ශාස්තෘවරුන්ගෙන් ආශිර්වාද ලබාගැනීමට අපි පෙළඹී සිටින්නෙමු. එමෙන්ම අපට යම් දුකක් කරදරයක් වුණු අවස්ථාවකදීත් අපි පෙළඹෙන්නේ ආගමික වශයෙන් ආශිර්වාදයක් ලබාගැනීමටය. එය මිනිසා සහ ආගම අතර පවතින නොසිඳෙන සම්බන්ධය මනාව පෙන්නුම් කරන්නකි. එම සම්බන්ධතාවයට හොඳම උදාහරණයකි හින්දු බැතිමතුන්.


හින්දු ජනයා සිය එදිනෙදා ජීවිතයේදී මෙන්ම අනාගත අභිවෘද්ධිය සඳහාත්, ප්‍රශ්න කරදරවලදීත් ආශිර්වාද ලබාගන්නේ කෝවිලට යාමෙනි. තමන්ට ලබාගැනීමට අවැසි යමක් ලබාගැනීමේදී මෙන්ම දුක් කරදර පැමිණි අවස්ථාවලදී ඉක්මනින් ඒවායෙන් මිදීම සඳහාත් භාරහාරවීම හින්දු බැතිමතුන් විසින් සිදුකරනු ලබන්නකි. එහිදී පඬුරක් ගැටගැසීම මගින් භාරය සිදුකරනු ලබන අතර තම අපේක්ෂාව ඉෂ්ටවූ පසු ඒ වෙනුවෙන් භාරය ඔප්පුකිරීම සිදුකරනු ලබයි. එම භාරය ඔප්පුකිරීම සඳහා පළතුරු පූජාකිරීම, ආහාර වර්ග පූජාකිරීම, මල්, මල් මාලා, කඩල වැනි තැම්බූ ධාන්‍ය වර්ග ආදී ලෙසින් විසල් පරාසයකවූ පූජාවන් සිදුකරනු ලබයි. බොහෝවිට ප්‍රසාදම් ලෙසින් හඳුන්වන්නේ පිළියෙළ කළ (පිසූ) ආහාර වර්ග පිළිගැන්වීමය. එලෙස දෙවියන් වෙත සිදුකරනු ලබන පූජාවන් හඳුන්වන්නේ නයිවේද්‍යම් ලෙසිනි. නයිවේද්‍යම් ලෙසින් දෙවියන් වෙත පූජා කරනු ලබන පූජාව දෙවියන්ගේ ආශීර්වාදය සමඟින් නැවත බැතිමතුන් හට ලබාදෙන අතර එය ප්‍රසාදම් ලෙසින් හඳුන්වයි. එලෙසින් ප්‍රසාදම් ලබාදුන් පසු ඒවා අනෙකුත් බැතිමතුන් සමඟින්ද බෙදාහදා ගැනීම විශේෂයෙන් සිදුවෙයි. එහිදී එම ප්‍රසාදම් රස විඳින සියල්ලෝම ඒවා පිළිගැන්වූ බැතිමතුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වන ලෙසත් ඔවුන්ට යහපත උදාවෙන ලෙසත් ආශිර්වාද කරනු ලබයි.


ප්‍රසාදම් සඳහා ආහාර සැකසීම ඉතාමත් සුපරිෂාකාරීව සිදුකළයුතු කටයුත්තක් වෙයි. ප්‍රධාන වශයෙන් ප්‍රසාදම් සඳහා ආහාර පිළියෙළ කරනු ලබන්නේ කොවිලේදීය. එහිදී අතීශයින් වැදගත් වන කාරණය වන්නේ පවිත්‍රතාවයයි. ඒවා සකසක ස්ථානය මෙන්ම සකසනු ලබන පුද්ගලයාගේ පිරිසිදු බව (කිලි නොමැතිවීම) ඉහළින්ම පැවතිය යුතුය. එමෙන්ම ඒවා සැකසීමට භාවිත කරනු ලබන බඳුන් වෙනත් කිසිදු කටයුත්තකට භාවිත නොකරයි. එමෙන්ම එම ආහාර වර්ග පිළියෙළ කරන අතර වාරයේදී ඒවායෙහි රස නොබලයි (ඉඳුල් නොකරයි). ඒවා පිළියෙළ කර දෙවියන්ට පූජා කිරීම සඳහා නයිවේද්‍යම් ලෙසින් ගෙන යන්නේද කෙසෙල් කොළයකින් වසා කිසිවෙකු හට නොපෙනෙන අයුරිනි. එය දෙවියන්ට පූජා කර ආශීර්වාද ගැන්වීමෙන් අනතුරුව විවෘත කර සැමදෙන අතරේ බෙදාදීම කරනු ලබයි.


සියලුම දෙවිවරුන් උදෙසා සක්කර පොංගල් ලෙසින් හඳුන්වන කිරිබත් වර්ගය පොදුවේ පූජා කරනු ලබයි. එමෙන්ම පළතුරු පූජාවන්ද එසේමය. නමුත් දෙවිවරුන්ගෙන් දෙවිවරුන්ට විශේෂිතවූ ප්‍රසාදම් වර්ගද වෙයි. ඒ අතර ගණ දෙවියන් උදෙසා පූජා කරනු ලබන්නේ මෝදගම්ය. ඊශ්වර (ශිව) දෙවියන්ට ව්‍යාංජන සහිත බත්ය. ලක්ෂ්මි දේවියට නම් පායාසම්ය. ආන්ජනේයර් (හනුමන්) දෙවියන් සහ වයිරවර් දෙවියන් උදෙසා පූජා කරන්නේ වඩේය.

සියලුම දෙවිවරුන් උදෙසා සක්කර පොංගල් ලෙසින් හඳුන්වන කිරිබත් වර්ගය පොදුවේ පූජාකරනු ලබයි. එමෙන්න පළතුරු පූජාවන්ද එසේමය. නමුත් දෙවිවරුන්ගෙන් දෙවිවරුන්ට විශේෂිතවූ ප්‍රසාදම් වර්ගද වෙයි.


එමෙන්ම නවක්කිරගම් ලෙසින් හඳුන්වන නවග්‍රහයින් උදෙසා පවත්වන පූජාවලදී ඒ ඒ ක්කිරගම් (ග්‍රහයා) සඳහා වෙන වෙනමවූ ප්‍රසාදම් වර්ග වෙයි. සූර්ය දෙවියන්ට නම් සක්කර පොංගල්ය. චන්ද්‍ර දෙවියන්ට පායාසම්, අඟහරු ග්‍රහයාට සුදු බත්, බුධ ග්‍රහයාට කිරිබත්, ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාට මීකිරි මිශ්‍ර කිරිබත්, ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාට එළඟිතෙල් මිශ්‍ර බත්, සෙනසුරු ග්‍රහයාට තල සහිත බත්, රාහු ග්‍රහයාට උලුඳු මිශ්‍ර බත් සහ කේතු ග්‍රහයාට චිත්‍රානම් නම්වූ බත් වර්ගවල එකතුවක් ලෙසින් එකිනෙක ග්‍රහයාටම විශේෂිත ප්‍රසාදම් වර්ග වෙයි. මෙම නවග්‍රහයින්ට පූජා කරනු ලබන ප්‍රසාදම්වල විශේෂත්වයක් වෙයි. එනම් නවග්‍රහයින් සඳහා කරනු ලබන පූජාවන් පූජා කළ පසු පරිභෝජනය සඳහා නැවත නොගැනීමයි.

භාරහාර ඔප්පු කිරීම සඳහා මෙන්ම උපන්දින, සංවත්සර, අලුත් අවුරුදු, පුන් පොහෝදින, මළගිය ඇත්තන් සිහිකිරීම වැනි විශේෂිත අවස්ථාවන්වලදීද ප්‍රසාදම් පිළිගන්වනු ලබයි. එලෙසින් නයිවේද්‍යම් ලෙසින් පූජා කිරීම දේවාශීර්වාදය ලබාගැනීමට හේතුවක් වන අතර එම ප්‍රසාදම් අනෙක් සෑමදෙනා අතරේම බෙදාගැනීමෙන්ද ආශීර්වාද ලැබෙයි. එපමණක් නොව දෙවියන් විසින් ආශිර්වාද කරන ලද ප්‍රසාදම් අනුභව කිරීමද ආශීර්වාදයට කරුණකි. එමෙන්ම මෙලෙස පිළිගන්වන ප්‍රසාදම් පමණක් ආහාරයට ගන්නා පිරිසක්ද සමහර කොවිල්වල වෙයි. එනම් ඔවුන් වෙනත් කිසිඳු ආහාරයක් අනුභව නොකිරීමයි. ඔවුන් ජීවත් වන්නේ ප්‍රසාදම්ම පමණක් ආහාරයට ගැනීමෙනි. ප්‍රසාදම් පිළිගැන්වීමෙන් අනතුරුව ඒවා අනුභව කරන පිරිස පිළිගැන්වූ කෙනාට ආශීර්වාද කරනවා මෙන්ම එම ආහාරයෙන් කුස පිරුණු පසු ත්‍රිප්ති යනුවෙන් පවසයි. එමගින් අදහස් කරන්නේ ලද ආහාරයෙන් තම කුස පිරුණු බවත් එයින් තමන් තෘප්තිමත් වුණු බවත්ය. එලෙස පැවසීම එය පිළිගන්වන්නාට ආශීර්වාදයක් වෙයි.


මූලික වශයෙන් ප්‍රසාදම් ලෙසින් පූජා කරනු ලබන ආහාර වර්ග හැඳින්වුවද ඊට අමතරව අප විසින් පූජා කර නැවත අප වෙත ලබාදෙන බුලත්, දෙහි, මල්, මල් මාල, පළතුරු මෙන්ම තීර්තම් හෙවත් ආසිරිගැන්වූ පැන් සහ විබූති යනුවෙන් හැඳින්වෙන ආසිරිගැන්වූ අළුද අයත්වන්නේ ප්‍රසාදම් ගණයටමය. මෙලෙසින් ප්‍රසාදම් පිළිගැන්වීමේ මූලිකම අරමුණ වන්නේ ආශිර්වාද ලබාගැනීමයි. එනම් සෑම පුද්ගලයෙකුම පාහේ යහපත් කටයුත්තක යෙදීමෙන් බලාපොරොත්තුවන දියුණුව සඳහා ආශීර්වාද ලබාගැනීමයි.


මෙම ලිපිය සැකසෙන්නේ එස්. සන්තාන ක්‍රිෂ්ණ අයියර් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි. මෙම ලිපිය සඳහා ඡායාරූප ගනු ලැබුවේ බම්බලපිටියේ පැරණි කදි‍රේසන් කෝවිලේ සහ සමන්කෝඩූ ශ්‍රී මාණික්ක විනායගර් කෝවිලේ පැවති පූජා ඇසුරිනි.


Prasadam is food that has been first offered to god and blessed by god in Hinduism. Hindus offer many kinds of offerings to deities called ‘Neivedyam' and they usually take the means of fruits, flowers, flower garlands, grain offerings and cooked food including rice. Once the food is prepared, it is offered to the gods along with prayers. Thereafter the food is said to have transformed into a spiritual substance and becomes prasadam with gods' blessings. This food sanctified by god, is then distributed among devotees, who partake in it to receive special blessings from god. The food offered to god is prepared under strict codes of purity and hygiene. Offerings are also made to ‘Navagraham', the nine planetary gods in Hinduism, with their favorite food items, which is not usually consumed by devotees.


This article was written with information provided by S Santhana Krishna Aiyyar. The photographs were taken from poojas conducted at the Old Kathiresan Kovil, Bambalapitiya and Samankodu Sri Manicka Vinayagar Kovil, Bambalapitiya.

 

  • image01
    image01

    ගණ දෙවියන් උදෙසා පුදනු ලබන මෝදගම්

    Prev Next
  • image01
    image01

    වයිරවර් දෙවියන් උදෙසා පූජා කරන ලද වඩේ මාලයක්

    Prev Next
  • image01
    image01

    පූජා කිරීමෙන් පසු බැතිමතුන් සඳහා සූදානම්ව ඇති සාදම්, කඩල, මෙලගු පොංගල්, සක්කර පොංගල් සහ වඩේ

    Prev Next