ප්‍රාර්ථනා සපල කරන උපවාස ශීලය
June 2018

හින්දු බැතිමතුන් පූජා සඳහා සහභාගිවෙමින්

සියලූ ආගම්වල හරය වනුයේ පිවිතුරු ජීවිතයක් ගත කිරීමට මග පෙන්වීමයි. අසුරු සැනින් වරදට පොළඹවන සුළු පරිසරයක ජීවත් වීමට සිදුවී ඇති මිනිසාට මෙලොව පවිත්‍ර දිවි පෙවතක් ගත කිරීමට හැකි නම් සැබවින්ම එය අතිශයින් ප්‍රශංසනීයයි. මෙකී අරමුණ සපුරා ගැනීම සඳහා බොහොමයක් ආගම් තුළ උපවාස ශීලයන්හි නිරතවීම දක්නට ලැබෙයි. දමිළ බසින් "විරදම්" නොහොත් "නෝම්බු" ලෙස උපවාස කිරීම හඳුන්වනු ලැබේ. මෙලසින් ලෞකික ආශා පසු පස හඹා යාම් මදකට පසෙකලා, තම සිත සහ කය සංවර කර ගැනීම සදහා හින්දු භක්තිකයෝ උපවාස කරති.


සටහන: දාර්ශිනි පාර්තිපන්


උපවාසයේ යෙදීමේ අරමුණ

හින්දු බැතිමතුන්ගේ උපවාසයේ යෙදීමේ පරමාර්ථයන් අතර තම සිතෙහි ඇති ප්‍රාර්ථනා ඉටු කරගැනීමට නිරාහාරව උපවාසයේ යෙදීම මූලික තැනක් ගනියි. හින්දු බැතිමත්හු ලෙඩ රෝග සහ දුක් පීඩා උවදුරුවලින් ආරක්ෂා වීම උදෙසා දෙවියන්ගේ රැකවරණය පතාද උපවාස කිදීමෙහි යෙදෙති. ස්වභාවික ආපදාවලින් මුළු මහත් ලෝ තලයෙහිම ආරක්ෂාව පතා දෙවියන්ට කන්නලව් කිරීම උදෙසාද ලොව පුරා හින්දු බැතිමතුන් උපවාස ශීලයේ යෙදෙනු ලැබෙයි. යහපත් මතු ආත්මයක් පතාද හින්දු බැතිමත්හූ උපවාස පූජා පවත්වති. මෙලෙසින් උපවාස කාලය තුළදී බැතිමතුන් සහ දෙවියන් අතර සමීප බැඳීමක් ඇති වන බව බොහෝ දෙනා විශ්වාස කරනු ලබන්නකි.


උපවාස කිරීමේ වැදගත්කම

ශරීරයට දුක්දී උපවාස සිදු කිරීමෙන් පංචේන්ද්‍රියන් එකලස් කරගෙන සිත ශික්ෂාවෙහි පිහිටුවාලීමට මග පෑදෙයි. මෙලෙස උපවාසයේ යෙදීමෙන් මනස දැහමි සිතුවිලිවලට පමණක් නැඹුරු කරවීමටත්, කුසල කර්මයන්හි පමණක් නියැලීමටත් අවස්ථාවක් ලැබෙයි. උපවාස කාලය තුළදී දුගී දුප්පත් ජනයාට හැකි පමණින් උපකාර කිරීමට හින්දුවරුන් නොමසුරුව දායක වෙයි. එමෙන්ම මෙම කාලයේදී නිවසෙහි ඇතිදැඩි කරන ගව මහීෂාදීන්ට ඉතා හොඳින් සලකා තණකොළ, කතුරුමුරුංගා කොළ සහ පානීය ජලය ලබාදීම මහා කුසලකර්මයක් ලෙස හින්දු දහමෙහි කියවෙයි. එබැවින් උපවාස කිරීම තුළ මානව දයාව සහ සත්ත්ව කරුණාවද පිළිඹිබු වෙයි.


විවිධාකාර උපවාස විදි‍

ඉඳුරන් සංවර කර ගනිමින් යහපත් ක්‍රියාවන්හී නිරතව දෙවියන් කෙරෙහිවූ භක්තියෙන් කල් ගෙවීම උපවාස කාලය තුළ සිදු කරනු ලබයි. මුලික වශයෙන් උපවාස විදි අටක් හින්දු දහමෙහි හඳුනාගත හැකිය. ඒ සන්තාපන විරදම්, මහා සන්තාපන විරදම්, පිරසම්ත්තිය අදි‍කරිච්චා විරදම්, අදි‍කිරිච්චා විරදම්, පරාහ විරදම්, තප්ත කිරිච්චා විරදම්, පදකිරිච්ච විරදම් සහ සන්තාරායන විරදම් ලෙසිනි. උපවාසයන් සිදු කරනු ලබන ආකරය අනුව නැවත ආකාර විසි හතකට බෙදා දක්වා ඇත. මෙලෙස කෙළ පිඬක්වත් නොගිල දිනයක් පුරා සිදු කරනු ලබන උපවාසය, තැඹිලි වතුර සහ මී පැණි මිශ්‍ර‍ පානයක් පමණක් පානය කර දි‍නක් පුරා සිදු කරන උපවාසය, කිරි පමණක් පානය කර කරනු ලබන උපවාසය, සොළොස් දිනක් ආහර අනුභවයෙන් සම්පූර්ණයෙන් වැළකී ජලය පමණක් පානය කරමින් කරනු ලබන උපවාසය සහ උදෑසන ආහාරය පමණක් අනුභව කර දිනක් පුරා කරනු ලබන උපවාසය ආදී වශයෙන් විසිහත් ආකාරයක උපවාස විදි‍ හින්දු දහමෙහි දක්වා ඇත. විවිධ දෙවිවරුන් උදෙසා සුවිශේෂවූ උපවාස විදි‍ පවති. ප්‍ර‍ධාන වශයෙන් ගණ දෙවියන්, ඊශ්වර දෙවියන්, ශිව දෙවියන්, ශක්ති දේවියගේ විවිධ ස්වරූප (අවතාර්), කතරගම දෙවියන් සහ විෂ්ණු දෙවියන් උදෙසා උපවාස පවත්වනු දක්නට ලැබෙයි. මෙහිදී අදාළ දෙවියන්ට කන්නලව් කිරීම සහ ස්තෝත්‍ර ගායනා සිදුකරයි. නිරෝගී සුව පතා දුර්ගා දේවියටද, සශ්‍රීකත්වය පතා ලක්ෂ්මී දේවියටද, අධ්‍යාපනික දියුණුව පතා සරස්වති දේවියටද උපවාස පවත්වයි. විවාහක කාන්තාවන් ලක්ෂ්මි දෙවඟන උදෙසා "වරලක්ෂ්මි පූජා" පවත්වනු ලබන අතර උපාවාස කිරීම අවසානයේදී කුංකුම, මුදල්, මල්, රෙදි‍ කඩක්, පනාවක්, වීදුරු වළලු, මාලයක්, කහ පැහැති නූලක් වැනි සශ්‍රීකත්වය විදහාපාන භාණ්ඩ වෙනත් ස්ත්‍රීන් හට තිළිණ කරනු ලබයි. සරස්වතී දේවිය උදෙසා විජයදසමි පූජා පවත්වන දින දරුවන්ට අකුරු කියැවීමේ නැකත්ද නියම කරනු ලැබේ. බහුතරයක් නවරාත්‍රී පූජා උදෙසාද උපවාස ශීලයේ යෙදෙති. මවුවරුන් අහිමි දරුවන් පසොළොස්වක දිනත්, පියවරු අහිමි දරුවන් අමාවක දිනත් උපවාස කරනු ලබයි.


උපවාස කිරීමේ වත්පිළිවෙත්

උපවාසය ආරම්භ කිරීමට පෙර දින බැතිමතුන් ස්නානය කර පිරිසිදු වියයුතු වෙයි. පිරිසිදු වස්ත්‍ර ඇඳීම අවශ්‍ය වන අතර පුරුෂ පාර්ශ්වය වේට්ටියකින්ද ගැහැණු පාර්ශ්වය සාරියකින්ද සැරසිය යුතුය. උපවාස කාලය අතරතුරදී කිලිවලට හසු නොවී සිටීම ඉතා වැදගත් වෙයි. බැතිමතුන්ගේ ශාරීරික යෝග්‍යතාවය අනුව නිසි උපවාස ආකාරයක් තෝරා ගැනීමට අවසර ඇත. උපවාස කාලය තුළ කෝවිලට ගොස් නිසි පිළිවෙත් අනුගමනය කරමින් වැඳ පුදා ගැනීමට සහ ආගමික වත්පිළිවෙත්හි නියැලීමට හින්දු බැතිමත්හු යුහුසුලු වෙති. උපවාසය අවසානයේ ගන්නා ප්‍රථම ආහාර වේල "පාරෙණෙයි" ලෙස හඳුන්වන අතර ‍ප්‍රථම ආහාර පිඬ දෙවියන් උදෙසා පූජා කළයුතු අතර ඉන්පසුව කපුටෙක්ටද ආහර පිඬක් දීම හින්දුවරුන්ගේ චාරිත්‍රයකි.


මෙලෙස සෑම ආගමකම අභිලාෂය වනුයේ යම්කිසි කාල පරාසයකදීවත් කෙලෙස් පිරි චෛතසිකයන් බිඳලා නිකෙලෙස් මාර්ගයක සිත කය පිහිටුවා ගැනීමයි. අවසානයේදී මිනිසා සුමගට ගැනීම සියලු ආගම්හි ඒකායන අරමුණයි.


මෙම ලිපිය සැකසෙන්නේ බම්බලපිටියේ පූජ්‍ය මනී ශ්‍රීනිවාස කුරුක්කල්තුමන් සමඟ පැවති සාකච්ඡාවක් ඇසුරිනි.


Fasting is an integral part of Hinduism. Known as ‘Viradham’ or ‘Nombu’, fasting indicates the denial of the physical needs of the body for the sake of spirituality. Discipline of the body and mind is the foundation of fasting. Hindu devotees observe fast to please the gods, request the fulfillment of their wishes as well as seek godly intervention for the protection of the entire world. In Hinduism fasting is categorised into eight forms based on the manner in which the fast is observed and these are reclassified into twenty-seven categories. Special fasting observances are conducted for different deities. While observing fast, Hindus earnestly pray, visit the temple to pay homage to the gods and engage in good deeds such as helping the poor. Hindus break fast by serving the first portion of food to the deities and provide another portion to a crow.

The article was compiled with details provided by Mani Srinivasa Kurukkal of Sivasubramania Swami Kovil, Colombo 2.

 

 

  • image01
    image01

    පූජා අවසානයේ ආශිර්වාද ලබාගැනීමට පෙළගැසුණු බැතිමතුන්

    Prev Next
  • image01
    image01

    ස්තෝත්‍රවලට සවන් දෙන බැතිමතුන්
    BT ඡායාරූප

    Prev Next
  • image01
    image01

    ප්‍රථම ආහාර පංගුව දෙවියන්ට පූජා කිරීමට පෙර ස්තෝත්‍ර ගායනා කරමින්

    Prev Next
  • image01
    image01

    වරලක්ෂ්මි පූජා අවසානයේ ත්‍යාග සඳහා සූදානම් කළ භාණ්ඩ

    Prev Next