වර්ණවත් සංස්කෘතියක සුන්දරත්වය
January 2017

මල්, මල්මාලා, බුලත් සහ පලතුරු සමඟ සංයෝග වූ කුම්බම්

සෙමින් ගලා ආ සුළඟේ වූයේ නැවුම් සුවඳකි. විඩාපත් මා සිත මෙන්ම ගතත් සුවපත් කළ ඒ සුවඳවත් සිහිල් සුළං රැල්ලට හසුව ලතාවකට ලෙළදෙමින් තිබූ මල් වැල් සතුවූයේ වර්ණවත් අලංකාරත්වයකි. එමෙන්ම වර්ණවත් ලෙසින් අපූරු හැඩයන් මැවූ කෝලම් රටාවන්වලට බාධා නොවෙන ලෙසින් අඩිය තැබූ මම එම නිවස තුළට ඇතුළු වුණේ සිතේ ඇති වූ සොම්නස මිශ්‍රිත පහන් සිතුවිලි සමඟිනි.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: වර්ණන් සිවනේසන්


අලංකාරත්වයට, වර්ණවත්බවට මූලිකත්වය දෙන සංස්කෘතියකට උරුමකම් කියන හින්දු සංස්කෘතිකාංගයන්හි පවතින්නේ සුවිශේෂීත්වයකි. ආගමික පුද පූජා විදිවලදී මෙන්ම විවිධාකාරයේ සැමරුම් ඇතුළු හින්දු ජන ජීවිතයට සම්බන්ධ සෑම සිදුවීමකදීම අලංකාර සැරසිලිවලට මූලිකත්වයක් ලබාදෙයි. හින්දු සැරසිලි කලාව කවදා කෙසේ ආරම්භවූවාදැයි නිශ්චිත දිනවකවානු දැක්විය හැකි නොවුනත් හින්දු දහමේ මෙන්ම හින්දු සංස්කෘතියේ ආරම්භයේ සිටම මෙම සැරසිලි කලාවද හින්දු සංස්කෘතිය සමඟ බද්ධව පැවති බව නම් නොරහසකි.


තෛපොංගල්, දීපාවලී, නවරාත්‍රී ආදී ආගමික සැමරුම්වලදී මෙන්ම විවාහ මංගලෝත්සව ඇතුළු සුබ කටයුතුවලට අදාළ සැමරුම් අවස්ථාවලදී සැරසිලි කිරීම හින්දු සංස්කෘතියේදී දක්නට ලැබෙයි. ස්වභාවදහමට හිතැති ජාතියක් වන හින්දූන්, සිය සැරසිලි කටයුතුවලදී භාවිත කරනු ලබන්නේ කිසිදු අයුරකින් ස්වභාවික පරිසරයට හානියක් සිදු නොවන ස්වභාවික අමුද්‍රව්‍යයන්මය. මෙලෙසින් මෙම ස්වභාවික අමුද්‍රව්‍යයන් භාවිත කිරීම සම්ප්‍රදායානූකූලව පැවත ආවත් ඒ සඳහා පාදක වන විද්‍යාත්මක හේතූන්ද වෙයි. මෙලෙසින් වර්ණවත් මෙන්ම සුවඳවත් අලංකාර සැරසිලි කිරීමට හින්දු ජනයා නැඹුරුවක් දැක්වීමට මූලිකම හේතුව වන්නේ අලංකාරවත් සහ සුවඳවත් සැරසිලි මගින් මිනිස් සිත සුවපත් කළ හැකි වීමය. එනම්, විවිධාකාරයේ ගැටලූ, කම්කටොළු ආදියත් සමඟින් යම් සුබ කටයුත්තකට සහභාගීවිමට පැමිණෙන අමුත්තන්ගේ මනස එම උත්සවයට ඇතුළුවන අවස්ථාවේදී මෙම වර්ණවත් සහ සුවඳවත් අලංකාරයන් වෙත ඇදී යයි. එවිට ඔවුන් තුළ යම් අහිතකර මානසික තත්ත්වයන් තිබුණි නම් එයින් ඈත්වී නිදහස් නිරවුල් සිතින් යුතුව එම අවස්ථාවට සහභාගිවීමට හැකිවෙයි. එමෙන්ම, එවන් සැරසිලි මගින් ඇස්, කන්, නාසය, දිව සහ සිරුර යන පසිඳුරන් පිනවීම මගින් සිත සුවපත් කිරීමට හැකිවන බවටද හින්දු ජනයා අතර විශ්වාසයක් පවතී.


හින්දු සංස්කෘතිකාංග අතර ප්‍රධාන තැනක් ගන්නා කෝලම් රටා යනු ඉතාමත් අලංකාර මෙන්ම සියුම් නිර්මාණ වර්ගයකි. වර්ණගන්වන ලද සහල්, සහල් පිටි හෝ වර්ණවත් මල් පෙති භාවිතයෙන් සිදුකරනු ලබන මෙම කෝලම් රටා ඇඳීම වැඩි වශයෙන් සිදුවන්නේ හින්දු තරුණියන් අතිනි. මනා සංයමයකින් යුතුව අඳිනු ලබන මෙම කෝලම් සඳහා මල් භාවිත කරන්නේ සුවඳ එක්කිරීම සඳහාය. නමුත් බහුල වශයෙන් භාවිත කරනුයේ වර්ණගන්වන ලද සහල් සහ සහල් පිටිය. එලෙසින් සහල් පිටි භාවිත කිරීමේ අරමුණ වන්නේ එමගින් අලංකාරයක් එක් කිරීම මෙන්ම කූඹින් වැනි කුඩා සතුන්හට ආහාරයක් වශයෙනි.


එමෙන්ම හින්දු විවාහ මංගල උත්සව ඇතුළු සුබ මංගල අවස්ථාවන්වලදී අදාළ නිවෙසට ඇතුළුවන දොරටුව දෙපස කෙසෙල් ගස් දෙකක් සිටුවා තිබෙනු දක්නට ලැබෙයි. එලෙසින් කෙසෙල් ගස් තැබීමට හේතුව වන්නේ කෙසෙල් ගසේ පත්‍ර මගින් එම ස්ථානයේ තිබෙන සියලූ අහිතකර ද්‍රව්‍යයන් එනම් විෂබීජ ආදිය උරාගෙන එය කෙසෙල් කිරි ලෙසින් පොළවට මුදාහරින බවට හින්දු ජනයා තුළ වන විශ්වාසයයි. එමෙන්ම විවාහ මංගල අවස්ථාවන් සඳහා හොඳ ඵලදාවකින් යුත් ඉදුණු කෙසෙල් කැන් සහිත කෙසෙල් ගස් දෙකක් තැම්පත් කරනු ලබන්නේ එහි අග කෙළවරට සම්බන්ධ කරන ලද තැඹිලි ගෙඩි දෙකක්ද සමඟිනි. කෙසෙල් ගස් තැබීම මගින් බලාපොරොත්තුවන්නේ සුබ සංඛේතයක් ලෙසින් මෙන්ම එම අවස්ථාවට සහභාගීවීමට නොහැකි පිටත සිටින දුගී මගී යාචකාදීන්ට මෙන්ම සතුන් හට ආහාර ලෙසින් එම කෙසෙල් භාවිතයට ගැනීමට හැකිවීමයි.


හින්දු සැරසිලි අතර ගොක් කොළ සැරසිලිවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ගොක් කොළයේ ඉහළ කෙලවර උඩ අතට සිටින සේ සරසා තිබේ නම් එයින් හැඟවෙන්නේ සුබ කටයුත්තක් පැවැත්වෙන බවය. එක් ආකාරයකින් එය නිහඬ සන්නිවේදනයක්ද සිදුකරනු ලබයි. එමෙන්ම හින්දු සැරසිලි විදිවලදී බහුල වශයෙන් දක්නට ලැබෙන අඹ කොළ, කොහොඹ කොළ, ගොක් කොළ, තුලසි කොළ, අමු කහ, පුවක් කොළ භාවිත කිරීමට විශේෂ හේතු වන්නේ ඒවායෙහි පවතින සිසිලනය කිරීමේ සහ විෂබීජ නැසීමේ ගුණයන් නිසාය. එමෙන්ම හින්දු සැරසිලි සඳහා බුලත් කොළ භාවිත කිරීමද බහුලව දක්නට ලැබෙයි. එයට හේතුව වන්නේ හින්දු ජනයා බුලත් යනු සුබ නිමිත්තක් එසේත් නැතිනම් සෞභාග්‍යයේ සංඛේතයක් ලෙසින් සැලකීමයි. එමෙන්ම පිල්ලයාර් දෙවියන් ලෙසින් හඳුන්වනු ලබන ගණදෙවියන් සඳහා සිදුකරනු ලබන පුද පූජා සඳහා ඊතණ ලෙසින් හඳුන්වනු ලබන තෘණ විශේෂය සහ අමු කහ භාවිත කරනු ලබයි. එලෙසින් ඊතණ භාවිත කිරීමට හේතුව වන්නේ ඒ සතු වන සිසිල් ගුණයයි. එමෙන්න කහ යනු ප්‍රබල විෂබීජ නාශකයක් වෙයි.


බාහිරින් බැලූ කල අලංකාරත්වයත් සුවඳත් කැටිවුණු මෙම සුන්දර සැරසිලිවල ගැබ්ව ඇති යටි පරමාර්ථයන් මිනිස් දිවියට ඉතාමත් අගනේය. කුමන සංස්කෘතියක වුවත් පැවැත්ම රඳාපවතින්නේ මිනිසාගේ මෙන්ම ස්වභාවධර්මයේ පැවැත්ම මතය. එබැවින් මිනිසා ඇතුළු සත්ත්ව ප්‍රජාවේ පැවැත්ම රඳාපවතින ආකාරයෙන් එම සංස්කෘතිකාංගයන් නිර්මාණය වී තිබේ.


මෙවන් සරල සුන්දර අංගයන් මගින් මිනිස් සිත් සන්තානයන්හි පවතින ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, වෛරය ඇතුළු අහිතකර චින්තනයන් දුරුකර සතුට, සැනසුම, ප්‍රීතිය, මෛත්‍රිය වැනි හැඟුම් පුබුදුවාලන්නේ මිනිසාටත් නොදැනීමය. එවන් සුන්දර සංස්කෘතිකාංගයන්ගෙන් පෝෂිත වටපිටාවක මිහිර විඳීමට තරම් අපි වාසනාවන්ත වී ඇත්තෙමු.


මෙම ලිපිය සැකසෙන්නේ කොළඹ 4, පැරණි කදිරේසන් කෝවිලේ කේ. මාණික්කම් මහතා සමඟ පැවති සාකච්ඡාවක් ඇසුරිනි.

Colourful decorations add vitality to Hindu festivities, including Thai Pongal, Deepavali and Navarathri. These vibrant adornments, meant to bring peace to the mind of devotees, are entirely composed out of environment-friendly components. The most popular are the Kolam, brilliantly coloured intricate patterns drawn on the floor using flower petals, but more often coloured rice or flour.

Tropical leaves, including Mango or Neem, are used symbolically as well as for their soothing properties. Banana trees are an integral part at all festivities, usually flanking the entrance. Decorations can also convey messages, for example whether the occasion is happy or sad. Whatever the purpose or the occasion, these decorations are a manifestation of the many-coloured, vivid soul of Hindu culture.

 

  • image01
    image01

    සුවඳවත් මල් මාලාවලින් අලංකාර කරන ලද පිවිසුම් දොරටුව

    Prev Next
  • image01
    image01

    ඉදුණු කෙසෙල් කැන් සහිත කෙසෙල් ගස් සහ මල් මාලාවලින් සරසා ඇති උත්සවය අවස්ථාවක දොරටුව

    Prev Next
  • image01
    image01

    ගණ දෙවියන් උදෙසා වර්ණ ගන්වන ලද කෝලම් රටා

    Prev Next
  • image01
    image01

    වර්ණගැන්වූ සහලින් සකසන ලද අලංකාරවත් කෝලම් රටාවන්

    Prev Next
  • image01
    image01

    සුබ කටයුතුවලදී මූලිකත්වය ගන්නා බුලත්

    Prev Next
  • image01
    image01

    සුබ කටයුතුවලදී මූලිකත්වය ගන්නා බුලත්

    Prev Next
  • image01
    image01

    සැරසිලි සඳහා බහුල වශයෙන් යොදාගන්නා මල්

    Prev Next
  • image01
    image01

    සෞභාග්‍යයේ සලකුණක් වන තුලසි පැළයක්

    Prev Next
  • image01
    image01

    ගණදෙවියන් උදෙසා සූදානම් කර ඇති කහ ගුලියක රැඳවූ ඊතණ

    Prev Next
  • image01
    image01

    වර්ණවත් මලින් අලංකාර කර ඇති කුම්බම්

    Prev Next