නෙත බඳවන දිව පිනවන සන්ඩේ
February 2017

බනානා බෝට්

මද්දහනේ මෝදු වූ හිරු කිරණ ගෙන ආවේ උණුසුම් රශ්මියකි. ඒ උණුසුමත් සමඟින් ඇතිවූ දාහය සමනය කළ හැකි සිසිල් යමක රසය බැලීමට මා සිත පෙරළි කරන්නට විය. ඒත් සමඟින් අයිස් ක්‍රීම් අවන්හල වෙත පියවර එසවූයේ දෙවරක් නොසිතාමය. කවදත් වෙනස් යමක රසය බැලීමට ප්‍රිය කරන නිසාම පුරුදු නුපුරුදු රස සංකලනයක මිහිර විඳීමට සූදානම් වුනෙමි. ඒ, අද වනවිට ලොව පුරා ප්‍රචලිතව ඇති අයිස් ක්‍රීම් සන්ඩේ නම් අපූරු අතුරුපසෙහිය.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: මේනක අරවින්ද සහ විශ්වතන් තර්මකුලසිංහම්


අයිස් ක්‍රීම් යනු බාල තරුණ මහලූ වයස් භේදයකින් තොරවම බොහෝ දෙනා ප්‍රිය කරන අතුරුපස වර්ගයක් බව නොරහසකි. එය සැබෑවක් බව පසක් වූයේ ඒ වන විටත් එම අයිස් ක්‍රීම් අවන්හලේ තැන් තැන්වල සිට විවිධ වර්ගයේ අයිස් ක්‍රීම් රස බලනා සිඟිති දූ දරුවන් සමඟින් සිටි මව්පියන් මෙන්ම නිදහසේ කතාබහක නිරත වෙමින් සිටි තරුණ තරුණියන් දැකීමෙනි. අපි සාමාන්‍යයෙන් රස විඳින විවිධ වර්ගයේ රසයන්ගෙන් යුත් අයිස් ක්‍රීම්වලට වඩා, එම රස කිහිපයක් සංකලනයවීමෙන් සැකසෙන අයිස් ක්‍රීම් සන්ඩේ හි රසය බොහෝ සෙයින් වෙනස්ය.


අයිස් ක්‍රීම් සන්ඩේ හි පවතින සුවිශේෂීත්වය වන්නේ එය පිළිගන්වනු ලබන ආකාරය සහ එහි අන්තර්ගත වන රස එකතුවයි. එනම් දිවට සුපුරුදු වැනිලා, චොකලට්, ස්ට්‍රෝබෙරි වැනි අයිස් ක්‍රීම් රස වර්ගයන් මෙන්ම මින්ට්, කැරමල්, බිස්කොටි, කැපුචිනෝ වැනි අයිස් ක්‍රීම් වර්ගයන් සමඟ පිළිගන්වනු ලබන පළතුරු, කජු, විප් ක්‍රීම්, පැණි, චොකලට් සෝස්, ස්ට්‍රෝබෙරි සෝස් සහ වේෆර්ස් වැනි රසයන්ගේ සංකලනයයි. අයිස් ක්‍රීම් සන්ඩේ පිළිගැන්වීමේදී‍ අයිස් ක්‍රීම් වර්ගයන් දෙකක් හෝ තුනක් සමඟින් කජු, විප් ක්‍රීම්, පැණි, පළතුරු මෙන්ම වේෆර්ස් ආදියෙන් අලංකාරවත් ලෙසින් සැරසීමෙන් අනතුරුව පිළිගන්වනු ලබයි. එමගින් අලංකාරයක් එක් වෙනවා මෙන්ම වෙනස්ම රසයක්ද ඇති බව පසක් වූයේ එය රස බැලූ පසුවය.


වටපිට වූ පිරිස විවිධාකාරයේ අයිස් ක්‍රීම් සන්ඩේ රසවිඳිනු දුටු නිසාම ඒ පිළිබඳ වැඩිදුර තතු දැනගැනීමට සිතුවෙමි. මීට දශක තුනකට පමණ පෙර මෙරටට හඳුන්වාදී තිබුණද අද වන විට සන්ඩේ පිළිබඳව වැඩි ප්‍රවනතාවයක් පවතී. එමෙන්ම වසර තිහකටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන එම අවන්හලේ එකල වැඩි වශයෙන් ජනප්‍රියව පැවති අයිස් ක්‍රීම් සන්ඩේ වර්ග වන බනානා බෝට්, ඇම්බ්‍රෝෂියා, හනී ක්‍රන්ච්, සෝසි සන්ඩේ මෙන්ම ෆෝස්ටඞ් ෆෘටී එදා මෙන්ම අදත් බොහෝ දෙනෙක් රස බැලීමට රුචිකත්වයක් දක්වනු ලබයි. ඊට අමතරව බ්‍රවුනි කලෙක්ෂන්, කුකී ක්‍රන්ච්, මෙරි මින්ට්, වොෆල් ඩ්‍රීම්, මැන්ගෝ රෂ්, ඩබල් බෙරි, නිව්යොර්ක් චීස් කේක් මෙන්ම ෆ්ලෝරල් බ්ලොසම් ආදී මෑතකදී හඳුන්වාදුන් සන්ඩේ වර්ගයන්ටද තරුණ පරපුර වැඩි වශයෙන් කැමැත්තක් දක්වනු ලබයි. එමෙන්ම එදා කුඩා දරුවන් ලෙසින් පැමිණ බනානා බෝට් මෙන්ම ඇම්බ්‍රෝෂියා වැනි සන්ඩේ වර්ග රස බැලූ පිරිස අද තරුණ තරුණියන් ලෙසින් පැමිණද එම වර්ගයන්ම ඉල්ලුම් කරනු ලබන්නේ කාලය වෙනස් වුවද රසය වෙනස් නොවී එදා මෙන්ම අදත් පවතින නිසාම විය යුතුය. එමෙන්ම තමන්ගේ රුචිකත්වයට අනුව තෝරාගනු ලබන අයිස් ක්‍රීම් වර්ග දෙක තුනක් සමඟින් පළතුරු, පැණි, වේෆර්ස්, චොකලට් සෝස්, චෙරි, විප් ක්‍රීම් ආදිය එකතු කරමින් නැවුම් රස සංකලනයකින් යුත් අයිස් ක්‍රීම් සන්ඩේ රස විඳීමටද පුළුවන.


බනානා බෝට්


මූලික වශයෙන් වැනිලා, ස්ට්‍රෝබෙරි සහ චොකලට් අයිස් ක්‍රීම් මේ සඳහා භාවිත කරනු ලබයි. ඊට අමතරව රස වෑහෙන චොකලට් සෝස්, ස්ට්‍රෝබෙරි සෝස් සහ පැණි මෙන්ම විප් ක්‍රීම්, චෙරි සහ කජු එක්කරනු ලබන්නේ අලංකාරයක් මෙන්ම අමතර රසයක් එක් කිරීම සඳහාය. එමෙන්ම බනානා බෝට් සඳහා එක් කරනු ලබන කෙසෙල් නිසා එහි රසය තව තවත් වැඩි වෙයි.


ඇම්බ්‍රෝෂියා


බනානා බෝට් මෙන්ම තරමක් පැරණි අයිස් ක්‍රීම් සන්ඩේ වට්ටෝරුවක් වන ඇම්බ්‍රෝෂියා හි පවතින්නේ වෙනස්ම වූ රසයකි. පැණි ගැල්වූ බටර් කේක් කැබැල්ලක් සමඟ රසාලිප්ත වන වැනිලා අයිස් ක්‍රීම් සහ කැරමල් අයිස් ක්‍රීම් පිළිගන්වනු ලබන්නේ වේෆර්ස්, විප් ක්‍රීම් සහ කජු එක් කිරීමෙන් අනතුරුවය.


ඩබල් බෙරි


තරමක් උස වීදුරු බඳුනේ ඉතාමත් අලංකාරවත් ලෙසින් පිළිගන්වනු ලබන බ්ලුබෙරි අයිස් ක්‍රීම්, බ්ලුබෙරි සෝස් සමඟ මිශ්‍රවන වැනිලා අයිස් ක්‍රීම් සහ ටින් කරන ලද පීච් කැබලි දිවගට ගෙන එන්නේ නැවුම් රසයකි. ඒ රසය තව තවත් වැඩි කරන්නට එක් කරනු ලබන කජු, චෙරි, වේෆර්ස් සහ විප් ක්‍රීම් මගින් ගෙන එන්නේ කෑම රුචිය වඩවන ආකාරයේ අලංකාරත්වයකි.


වොෆල් ඩ්‍රීම්


උණු උණුවේ සකසන ලද වොෆල් කැබලි මත වැනිලා අයිස් ක්‍රීම් සහ කැපුචිනෝ අයිස් ක්‍රීම් එක් කරනු ලබන්නේ පැණිත් සමඟිනි. ඒ රසය තව තවත් වැඩි කරනු ලබන්නේ අලංකාරය සඳහා එක් කරනු ලබන චෙරි, වේෆස් බිස්කට් සහ විප් ක්‍රීම් ය. සන්ඩේ රසවතුන්හට මෑතකදී හඳුන්වාදී තිබෙන සන්ඩේ වර්ගයක් වුවද මේ සඳහාද බොහෝදෙනෙකු රුචිකත්වයක් දක්වනු ලබයි.


ෆ්‍රොස්ටඩ් ෆෘටී


ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම් සහ වැනිලා අයිස් ක්‍රීම් සමඟ පිළිගන්වනු ලබන උසස් තත්ත්වයෙන් යුතු ටින් කරන ලද පළතුරු කැබලි හැපෙනවිට දැනෙන මිහිර විඳීමට නම් එහි රසය බැලිය යුතුමය. එහි අලංකාරය වඩවන ලෙසින් එක් කර තිබෙන කජු, විප් ක්‍රීම්, වේෆර්ස් සහ චෙරි එහි රසයද වඩවයි.


බ්‍රවුනි කලෙක්ෂන්


බ්‍රවුනි යනු වත්මන් පරපුරේ බොහෝ දෙනා රුචිකත්වයක් දක්වන අතුරුපසකි. රසවත් බ්‍රවුනි සමඟ බිස්කොටි අයිස් ක්‍රීම් පිළිගන්වනු ලබන්නේ චොකලට් ෆජ් සෝස්වලින් අලංකාරවත් කරමිනි. ඉතාමත් රසවත් වූ එම තුනෙහි සම්මිශ්‍රනයෙහි රසය විඳීමට තරුණ පරපුර වැඩි රුචිකත්වයක් දක්වයි.


මෙම ලිපිය සැකසෙන්නේ කොළඹ 3, කානිවල් අයිස් ක්‍රීම් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි.


Ice cream sundaes have become popular in Sri Lanka to beat the heat. Carnival, who popularized the cold delights in Sri Lanka, counts over 30 years of delighting sweet tooths.


A great favourite at Carnival, Banana Boat is a concoction of three flavours of ice cream, chocolate, vanilla and strawberry, with chocolate and strawberry sauces, whipped cream, cherries, cashewnut and banana. Ambrosia is caramel and vanilla ice creams with honeyed cake, wafers and whipped cream. Double berry ice cream is a mix of blueberry ice cream, blueberry sauce, vanilla ice cream and tinned peaches. Waffle Dream is waffles with vanilla and cappuccino ice creams with honey. Frosted Fuit is tinned fruits with strawberry and vanilla ice creams while Brownie Collection has biscotti ice cream, brownies and chocolate fudge ice cream.


  • image01
    image01

    ඇම්බ්‍රෝෂියා

    Prev Next
  • image01
    image01

    ඩබල් බෙරි

    Prev Next
  • image01
    image01

    වොෆල් ඩ්‍රීම්

    Prev Next
  • image01
    image01

    ෆ්රොස්ටඩ් ෆෘටී

    Prev Next
  • image01
    image01

    බ්‍රවුනි කලෙක්ෂන්

    Prev Next