රාමසාන් උපවාස ශීලය
June 2017

ශීලය යනු සංවරකමයි. එම සරල අර්ථයෙන් ගත්තත් ශීලයක් සුරැකීමේ මූලිකම අදහස වන්නේ මිනිස් සිත සහ කය සංවර කිරීමය. විවිධ ආගම් විවිධාකාරයෙන් ඒ පිළිබඳව නිර්වචන සැපයුවද සෑම ආගමකම අරමුණ වන්නේ සිය බැතිමතුන් තුළ ශික්ෂාකාමීත්වය ඇති කිරීමය. ඉස්ලාම් බැතිමතුන් විසින් මාසයක් පුරාවට ශ්‍රද්ධා භක්තියෙන් යුතුව පුරන රාමසාන් උපවාස ශීලයේ අරමුණ වන්නේද එයමය.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: BT ඡායාරූප


ඉස්ලාම් බැතිමතුන්ගේ දිවියට සඳ ඉතාමත් සමීපය. එම නිසාම ඔවුන්ගේ දින දර්ශනය නිර්මාණයවී ඇත්තේද සඳ මූලික කරගෙනය. එම චන්ද්‍ර මාස ක්‍රමයට අනුව උදාවන නව වන මාසය හඳුන්වනු ලබන්නේ රාමසාන් මාසය යනුවෙනි. ඒ මාසය ඔවුන්ගේ ජීවිතවලට අතීශයින්ම වැදගත්ය. දින විසි නවයකින් හෝ තිහකින් සමන්විත වන මාස නවයක් ගෙවී ගිය තැන උදාවන නව සඳත් සමඟින් ඇරඹෙන රාමසාන් මාසයේදී ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාස ශීලය අරඹයි.


අරාබි බසින් බිඳී ආ වදනක් වන රාමසාන් නැතහොත් රාමදාන් ලෙසින් හැඳින්වෙන මෙහි "රමද" යන්නෙහි සරල භාෂා අරුත වන්නේ පුළුස්සන ලද යන්නයි. එනම් සියලු පාප ක්‍රියාවන් මකා දමන ලද නැතහොත් විනාශ කරන ලද යන්නයි.


ඓතිහාසික පසුබිම


නබි තුමන් වසර 53 ක් පුරාවට මක්කාවේ ජීවත් වූ අතර ඉන්පසුව මදීනාවට සංක්‍රමණය වී වසර දහයක කාලයක් එහි ජීවත්වී ඇති බව ඉස්ලාම් ඉතිහාසයේ සඳහන් වෙයි. මදීනාවේදී ඇරඹි පළමු වසර හඳුන්වන්නේ හිජ්රි වසර යනුවෙනි. එලෙස සංක්‍රමණය වූ දෙවන වසරේ සිට රාමසාන් උපවාසය ආරම්භ වී ඇත. රාමසාන් උපවාසය ආරම්භ කර ඇත්තේ හිජ්රි දෙවන වසරේදීය. ඒ අනුව රාමසාන් උපවාසය ආරම්භ වී ඇත්තේ නබිතුමන්ට වසය අවුරුදු පනස් පහේදී මදීනාවේදීය.


උපවාස ශීලයේ අරමුණ


රාමසාන් උපවාස ශීලය අනිවාර්ය වූ මුල්ම ජන කොට්ටාසය වන්නේ නබිතුමන්ගේ අනුගාමිකයින් වන සහාබාවරුන්ය. ඔවුන් ඉතා දිළිඳු, ආහාර පානාදිය හිඟවීම නිසා ද‍රිද්‍රතාවයෙන් පීඩා විඳි පිරිසක් විය. එලෙස ආහාර පානාදියෙන් හිඟ පිරිසක් වෙත උපවාස ශීලය සුරැකීම සඳහා නියම කිරීම සුවිශේෂය. එනම් උපවාස ශීලය පැනවීමේ මූලික අරමුණයි. එම මූලික අරමුණ වන්නේ මිනිසාගේ සිත සහ කය සංවර කිරීමයි. එමෙන්ම ඉවසීම සහ හැගීම් පාලනය ආදීවූ ගුණාංගයන් වර්ධනය කිරීමයි. එලෙසින් ඇරඹී රාමසාන් උපවාස ශීලය සුරැකීම සම්බන්ධයෙන් ශුද්ධ වූ අල් කුර්ආනයේ පැහැදිළිව සඳහන් කර තිබේ.


රාමසාන් උපවාස ශීලය යැයි පැවසූ සැනින් බොහෝ දෙනෙකුගේ මතකයට එන කරුණ වන්නේ නිරාහාරව සිට උපවාස කිරීමය. නමුත් රාමසාන් උපවාස ශීලය පැනවීම මගින් සර්වබලධාරී අල්ලාහ් දෙවියන් බලාපොරොත්තු වන්නේ එය පමණක්ම නොව. මිනිස් සිත මෙන්ම සිරුරේ ඉන්ද්‍රියයන් සහ පද්ධති පාලනය කිරීම සඳහා නිසි පුහුණුවක් ලබාදීමය. එහිදී බැල්ම, වචනය, අංග චලනය ඇතුළු ඉරියව් පාලනය කිරීම මගින් ආශාවන් මැඩපැවැත්වීම සඳහා මිනිසා පුරුදු පුහුණු කිරීමයි. එමෙන්ම මිනිසා තුළ ඉවසීම සහ හැගීම් පාලනය යන ගුණාංගයන් වර්ධනය කිරීමක්ද මෙමගින් බලාපොරොත්තු වෙයි.

උපවාස ශීලයේ යෙදීමෙන් ඉස්ලාම් බැතිමතුන් හට පෙර පව් සියල්ල සමාකර ගැනීමට අවස්ථාව සැලසෙයි. එමෙන්න උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් එය, අයහපත් ක්‍රියාවන්ට සහ චේතනාවන්ට එරෙහි පලිහක් ලෙසින් සිටිමින් මිනිසාව ආරක්ෂා කරනු ලබයි.


වැදගත්කම

රාමසාන් උපවාස ශීලය සුරැකීමේදී ඉස්ලාම් භක්තිකයින් එදිනෙදා පිළිපදින පංච කාලීන සලාතයන්ද (දිනකට පස් වරක් යාඥා කිරීම) සිදුකරන අතර උපවාසයන්ද සිදුකළ යුතුය. අලුයම උපවාසය ඇරඹීම සහර් ලෙසින් හඳුන්වනු ලබයි. උපවාසය නිමා කිරීම හැඳින්වෙන්නේ ඉෆ්තාර් යනුවෙනි. එලෙසින් විශාල කාල පරාසයක් තුළ නිරාහාරව සිටිම මගින් උපවාස ශීලය සුරැකෙන අතරම දුප්පතුන්ගේ දුක හඳුනාගැනීමටද අවස්ථාව උදාවෙයි. දිවා කාලය පුරාවට උපවාසයේ යෙදෙන ඉස්ලාම් බැතුමතුන් රාත්‍රී කාලයේදී වැඩි වැඩියෙන් ආගමික කටයුතුවල හෙවත් ඉබාදතයන්හි යෙදෙයි.


මෙලෙසින් උපවාස ශීලයේ යෙදීමෙන් ඉස්ලාම් බැතිමතුන් හට පෙර පව් සියල්ල සමාකර ගැනීමට අවස්ථාව සැලසෙයි. එමෙන්න උපවාස ශීලය ආරක්ෂා කිරීමෙන් එය, අයහපත් ක්‍රියාවන්ට සහ චේතනාවන්ට එරෙහි පලිහක් ලෙසින් සිටිමින් මිනිසාව ආරක්ෂා කරනු ලබයි.


අල්ලාහ් දෙවියන් ශුද්ධ වූ අල් කුර්ආනයෙහි රාමසාන් උපවාස ශීලයෙහි නිරතවීම අනිවාර්යය කර තිබේ. නබි තුමන් විසින්ද එය පිළිපැද ඇති බැවින් එතුමන්ගේ අනුගාමිකයින්ද එය එලෙසින්ම සිදුකළ යුතුය. නබි තුමන්ගේ ජීවන චරිතයේදී පිළිපැදි යමක් එලෙසින්ම අනුගාමිකයින්ද පිළිපැදීම සුන්නතයක් ලෙසින් ඉස්ලාම් දහමේදී හඳුන්වනු ලබයි. මෙම රාමසාන් උපවාස ශීලය සුරැකීමේ තවත් විශේෂත්වයක් වන්නේ සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන්ට දේශනා කළ ආකාරයටම කිසිදු වෙනසක් සිදු නොකර එලෙසින්ම පැවත ඒමය. නබි තුමන්ගේ කාලයේදී ඉෆ්තාර් සිදු කිරීම සඳහා බහුල වශයෙන් රට ඉඳි සහ රොටී අනුභව කර තිබේ. නමුත් කාලයත් සමඟින් ඉෆ්තාර් සිදුකිරීමෙන් අනතුරුව ගනු ලබන ආහාර පාන වර්ගයන් වෙනස් වුවත් අනෙකුත් පිළිවෙත් ඒ ලෙසින්ම පිළිපැදීමට ඉස්ලාම් බැතිමතුන් සෑමවිටෙකම කටයුතු කරනු ලබයි. අද ඉෆ්තාර් සිදුකිරීම සඳහා සමෝසා, කැඳ, පැටිස් වැනි ආහාර වර්ගයන් භාවිත වෙයි.


උපවාස ශීලය අනිවාර්ය වූ මාසය

රාමසාන් උපවාස කාල පරිච්ඡේදයේ තවත් සුවිශේෂීත්වයක්ද වෙයි. එනම් එය ශුද්ධ වූ අල් කුර්ආනය බිහිවූ මාසය වීමයි. එය බිහි වූ දිනය ලෙයිලතුර් කදූර් ලෙසින් හඳුන්වනු ලබයි. ඒ සඳහා නිශ්චිත දිනයක් නොවන අතර රාමසාන් මාසයෙහි අවසාන දින 10 ඇතුළත යෙදෙන ඔත්තේ දිනයකට යෙදෙයි. වැඩි වැඩියෙන් ආගමික කටයුතු එනම් ඉබාදතයන්ගේ යෙදෙමින් කුර්ආනය වැඩි වශයෙන් පාරායනය කරමින් මෙන්ම සිත සහ කය සංවර කරගනිමින් ආගමික කටයුතුවල යෙදෙන පුද්ගලයාට එම දිනය සොයා ගැනීමට හැකි බව ඉස්ලාම් දහමේ සඳහන් වෙයි. එලෙසින් නිවැරදිව එම රාත්‍රිය සොයා ගෙන වැඳුම් පිදුම් කිරීමෙන් ඉස්ලාම් බැතිමතෙකුට මාස දහසක් පුරාවට වැඳුම් පිදුම් කිරීමෙන් අත්පත් කරගන්නා සියලු කුසලානිශංසයන් එක රා‍ත්‍රියකදී අත් කරගැනීමට හැකියාව ලැබෙයි. මේ සඳහා කළ යුතු වන්නේ උත්සාහවන්ත වී එම රාත්‍රිය නිවැරදිව හඳුනා ගැනීමය.


ශාරීරික යෝග්‍යතාවය

මාසයක කාලයක් පුරාවට නිරාහාරව සිටීම මගින් ඒකාකාරී ආහාර රටාවෙන් මදකට මිදීමට ශරීරයට අවස්ථාව සැලසෙයි. එමගින් සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සහ ශාරීරික යෝග්‍යතාවය නිසියාකාරව පවත්වාගැනීමටත් ආහාර පාන වර්ග නිසා ඇතිවන බෙහෝ ලෙඩ රෝගයන් ගෙන් වැලකී සිටීමටත් හැකි බව නවීන වෛද්‍ය විද්‍යාව මගින් සොයා ගෙන තිබේ.


සෑම ආගමකම මූලික අරමුණ වන්නේ සිය බැතිමතුන් හට අධ්‍යාත්මික සුවයක් ලබාදීමය. එනම් ආශාවන්, ක්ලේශයන් ආදී වූ බැඳීම් ඇතිකරන ආකාරයෙන් මිනිස් චිත්ත සංතානයන්හි ඇතිවන අහිතකර චෛතසිකයන් බැහැර කර පවිත්‍ර අධ්‍යාත්මික සුවයක් සහ මානසිකත්වයක් ඇති කිරීමය. එනම් මිනිසා වැරදිවලින් වලකා සුමගට ගැනීම මගින් මිනිස් දිවිය තවදුරටත් යහපත කරා රැගෙන යාමය.


මෙම ලිපිය සැකසෙන්නේ මෞලවි ආසාඞ් සිරාස් තුමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි.

Ramazan the fasting season for all followers of Islam is upon us. Discipline of the body and mind, the epitome of any religion, is the ultimate goal of the holy month of Ramazan. Falling on the ninth month of the lunar calendar which is followed by Muslims, Ramazan is of great importance to them.

Starting in the hijri second year of the beginning of Medina by Prophet Mohammed at the age of 55 years, the main aim of the fast was to discipline one’s body and mind whilst having control over one’s thoughts and feelings. Starting the fast at the break of dawn with prayer Muslims pray five times a day and break fast at dusk by having the Ifthar meal. The beneficial merits of continuously fasting for the period of one month is not just of religious merit but also one of physical health as well. The above details were obtained through a discussion had with Aasad Sirash Moulavi.


  • image01
    image01

    රාමසාන් සඳ දුටු බවට තහවුරු කරන කොළඹ මහ පල්ලිය

    Prev Next
  • image01
    image01

    උපවාසය අනිවාර්ය බව සඳහන් කුර්ආන පාඨය

    Prev Next
  • image01
    image01

    සෑමදෙනෙකුම එක්ව ඉෆ්තාර් සිදුකරමින්

    Prev Next
  • image01
    image01

    සලාතය සිදුකිරීමට පළමුව පිරිසිදු වන බැතිමතුන්

    Prev Next
  • image01
    image01

    ඉෆ්තාර් සිදුකිරීම සඳහා සූදානම් කළ ආහාර

    Prev Next
  • image01
    image01

    ඉෆ්තාර් සිදුකිරීමෙන් අනතුරුව මහරිබ් සලාතයේ යෙදෙමින්

    Prev Next