දළරළ පරදන සර්ෆින්
July 2017

මූලික පුහුණුවෙන් පසුව තනිවම සර්ෆින් හි නිරතවන තරුණයෙක්

නැගෙනහිර අහස් කුසින් හිරු කිරණ දිස්වන්නට විය. මුහුද දෙසින් හමා ආ සුළඟ ඈතට ඇදී ගියේ ගත මෙන්ම සිතද නැවුම් හැඟුමකින් ප්‍රබෝධමත් කරවමිනි. එම ප්‍රබෝධයත් සමඟින්ම නැවුම් දිනයක ආරම්භය සඳහා සූදානම් වුණු තරුණ තරුණියන් පිරිසක් මුහුදු රළත් සමඟ හරිහරියට හරඹයකය. ඒ සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙමිනි.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප: මේනක අරවින්ද


දියඹේ සිට ජල රළ මත සිටගෙන ගොඩබිම දෙසට සුළඟේ වේගය හා සමව ඇදෙන තරුණයෙකි. තවත් තැනක සර්ෆින් බෝඩ් සමඟින් මුහුද දෙසට පිහිනා යන පිරිසකි. මුහුද ආසන්නයේම ගොඩබිම සිට සර්ෆින් ක්‍රීඩාවේ මුලකුරු හඳුනා ගන්නා ආධුනිකයෙකි. හිමිදිරි උදෑසනම මෙලෙසින් ක්‍රියාශීලී දිනයක් ඇරඹුනේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි විස්කි පොයින්ට් ලෙසින් හඳුන්වනු ලබන සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙන ආධුනිකයින් සඳහාම ගැලපෙන ආරක්ෂාකාරි මුහුදු තීරයේදීය.


අතීතයේ සිටම ශ්‍රී ලාංකේය නාමය ලොව පුරා බැබළවීමට හේතුවක් වූයේ ශ්‍රී ලංකාව සතු වූ ස්වභාවික සම්පත්ය. කුළු බඩු, මැණික්, ස්වභාවිකව පිහිටි වරායන් ආදී වූ ඒ සම්පත් අතරට අද වනවිට සර්ෆින් ක්‍රීඩාව සඳහා කදිමට ගැලපෙන ස්වභාවික මුහුදු තීරයද එකතු වී තිබේ. මේ නිසාම අද, සර්ෆින් ක්‍රීඩාවේ යෙදීම සඳහා ලොව නන්දෙසින් විදේශිකයින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙයි. කවදත් සංචාරක පාරාදීසයක් ලෙසින් ලොව පුරා ප්‍රචලිතව ඇති ශ්‍රී ලංකාව සර්ෆින් ක්‍රීඩාවත් සමඟින් තව තවත් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්වී තිබේ.


සර්ෆින් යනු අභියෝගාත්මක අත්දැකීමක මිහිර විඳීමට රුචිකත්වයක් දක්වන ජව සම්පන්න තාරුණ්‍යයට අතීශයින්ම ගැලපෙන ක්‍රීඩාවකි. මෙහි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම එක ලෙසින් නිරතවිය හැකිය. බොහෝවිට විදේශිකයන් සර්ෆින් හි යෙදෙනු දක්නට ලැබුණද ජීවිතයට නැවුම් අත්දැකීමක් එක්කර ගැනීමට කැමැත්තක් දක්වන ශ්‍රී ලාංකිකයින්ටද හොඳින් ගැලපෙන ක්‍රීඩාවකි. පිහිනුම් හැකියාවෙන් යුත් පුද්ගලයින්ට පහසුවෙන්ම සර්ෆින් ක්‍රීඩාව පුහුණුවිය හැකිය. අනෙකුත් සෑම ක්‍රීඩාවකදී මෙන්ම සර්ෆින් ක්‍රීඩාවේද ප්‍රවීණයෙකු බවට පත්වීම සඳහා අවශ්‍ය වන්නේ දැඩි කැපවීම සහ නිරන්තර පුහුණුවයි.

සෑම වසරකම මැයි මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය සර්ෆින් සඳහා වඩාත් හොඳින් ගැළපෙයි.


ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය සර්ෆින් ක්‍රීඩාව සඳහා අතීශයින්ම ගැලපෙයි. එහිදී, විදේශිකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වී ඇත්තේ ආරුගම්බේ ආශ්‍රිත ප්‍රදේශයයි. සර්ෆින් ක්‍රීඩාවට කැමැත්තක් දක්වන ආධුනිකයින් සඳහාම උචිත වන ස්වභාවික සර්ෆින් වෙරළ තීර කිහිපයක් ඒ ප්‍රදේශයේ වෙයි. ඉහත සඳහන් කළ විස්කි පොයින්ට් වෙරළ තීරයට අමතරව, ක්‍රොකඩයිල් රොක්/එලිෆන්ට් රොක් සහ පීනට් ෆාම් ලෙසින් හඳුන්වනු ලබන වෙරළ තීරයන්ද ආධුනික සහ තරමක් දුරට පුහුණු වූ සර්ෆින් ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් සඳහා හොඳින් ගැලපෙයි. නමුත් මුහුදු රළෙහි ස්වභාවය පිළිබඳව අවබෝධයක් සහිතව පුහුණුවීම් කටයුතු සිදුකිරීම වඩාත් ආරක්ෂාකාරී වන බැවින් පුහුණුකරුවෙකු සමඟින් දියඹට යාමට අමතක නොකළ යුතුය. සර්ෆින් ක්‍රීඩාව ඉගෙනීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් සර්ෆින් බෝඩ් මෙන්ම පුහුණුකරුවන්ගේ සහයෝගයද පහසු මුදලකට ලබාගැනීම පුළුවන. එමෙන්ම ආරුගම්බේ පොයින්ට්, ලයිට්හවුස් සහ පොතුවිල් පොයින්ට් යනු සර්ෆින් ක්‍රීඩාවේ ප්‍රවීණයින් සඳහා ගැලපෙන මුහුදු තීරයන්ය.


සර්ෆින් බෝඩ් වර්ග


ආධුනික ක්‍රීඩකයින් සඳහා සුදුසු වන්නේ සොෆ්ට් බෝඩ්ය. අඩි 7 අඟල් 10 සහ අඩි 8 අඟල් 2 ක පමණ දිගකින් යුතු බෝඩ් ආධුනිකයින් සඳහා මනාව ගැලපෙයි. එමෙන්ම එම බෝඩ් පළලින් සහ ගණකමින්ද වැඩිය. ආධුනිකයින්ට පහසුවෙන් පුහුණුවිය හැකි ලෙසින් මෙන්ම ලිස්සා යාම අවම කිරීම සඳහා රබර් මතුපිට පෘෂ්ඨයක් එහි වෙයි. එම රබර් මතුපිට පෘෂ්ඨය හේතුවෙන් පුහුණුවීම්වලදී බෝඩ් ඇඟේ වැදුනද ඉන් පුහුණුවන්නන් හට කිසිදු ආපදාවක් සිදුනොවෙයි.


ප්‍රවීණ ක්‍රීඩකයින් භාවිත කරනු ලබන්නේ හාර්ඩ් බෝඩ්ය. ඒවා සොෆ්ට් බෝඞ්වලට සාපේක්ෂව දිගින්, පළලින් මෙන්ම ගණකමින්ද අඩුය.


ආධුනිකයින්ට සර්ෆින්


සර්ෆින් ක්‍රීඩාව සඳහා වඩාත්ම සුදුසු වන්නේ රැල්ල වැඩි වශයෙන් පවතින උදෑසන සහ සවස් කාලයයි. සර්ෆින් ක්‍රීඩාවට අත්පොත් තැබීමට සූදානම් ආධුනිකයෙක් සන්නද්ධ විය යුතු මූලිකම අවශ්‍යතාවයන් වන්නේ සර්ෆින් බෝඞ් එකක් සහ පුහුණුකරුවෙකි. පුහුණුකරු විසින් පළමුව ආධුනිකයාට සර්ෆින් බෝඩ් එක හඳුන්වාදෙනු ලබයි. සර්ෆින් ක්‍රීඩාවේදී පැවතිව යුතු අත්‍යාවශ්‍යම ගුණාංගයන් වන්නේ සමබරතාවය රැකගැනීම මෙන්ම මානසික ඒකාග්‍රතාවයයි.


සර්ෆින් ක්‍රීඩාවට ප්‍රවිෂ්ටවීමේ මූලික පියවර

● පුහුණුවීම් ආරම්භ කිරීමට පළමුව සිරුර උණුසුම් කරවන ව්‍යායාම් සිදුකළ යුතුය.
● ඉන්පසු දියඹට යාමට පෙර වැල්ලේ සිට සර්ෆින් බෝඩ් එක මත මුනින්තලාවී අත් දෙක දෙපසට ගසමින් සමබරතාවය රැකගන්නා ආකාරය පුහුණු විය යුතුය.
● බෝඩ් එක මත සිටගෙන නිසි අයුරින් සිටගන්නා ආකාරය මෙන්ම එහිදී නිවැරදි ලෙස බෝඩ් එකේ මැද සිට දෙපසට සමබර වන ලෙසින් නිවැරදිව පාද තබන ආකාරය පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබාගැනීම වැදගත්ය.
● බෝඩ් එකට සම්බන්ධ පටිය පයට පැළඳීම අනිවාර්යය. එය ආධුනික, ප්‍රවීණ සෑම ක්‍රීඩකයෙකුම අනිවාර්යයෙන් සිදුකළ යුතු කාර්යයක් වන අතර එමගින් බෝඩ් එක සමඟ ක්‍රීඩකයාගේ සම්බන්ධතාවය සෑමවිටෙකම ආරක්ෂාවෙයි.
● ඉහත පියවර කිහිපය අනුගමනය කිරීමෙන් අනතුරුව ආධුනික ක්‍රීඩකයාට සිය පුහුණුකරු සමඟින් දියඹට යාමට හැකිය.

බෝඩ් එකට සම්බන්ධ පටිය පයට පැළඳීම අනිවාර්යය. එය ආධුනික, ප්‍රවීණ සෑම ක්‍රීඩකයෙකුම අනිවාර්යයෙන් සිදුකළ යුතු කාර්යයකි.


ඉහත සඳහන් ආකාරයෙන් ආධුනිකයින් හට ක්‍රම ක්‍රමයෙන් පුහුණුවීම් ආරම්භ කළ හැකිය. නමුත් එහිදී අවශ්‍ය වන්නේ නිරන්තර පුහුණුවයි. එනම් දිනකට පැය දෙක බැගින් හෝ දිනපතා සතියක් පමණ කාලයක් පුහුණුවීම්වල යෙදිය හැකි නම් ආධුනිකයින්ට සමබරතාවය රැකගනිමින් බෝඩ් එක මත හිටගැනීමට හැකිවනු ඇත. නමුත් එලෙසින් ආධුනිකයා සමබරතාවය රඳවාගැනීමට ඉගෙනගන්නා තෙක් පුහුණුකරු දියඹේදී ඔහු සමඟින්ම සිටිමින් අවශ්‍ය සහයෝගය සහ පුහුණුව ලබාදෙන්නේ නිවැරදි ලෙසින් ක්‍රීඩාවේ යෙදෙන සර්ෆින් ක්‍රීඩකයෙකු බිහිකිරීම ඔවුන්ගේ පරමාර්ථය වන බැවිනි.


බොහෝදෙනා විනෝදාංශයක් වශයෙන් නිරතවන මෙම ක්‍රීඩාවේ යෙදීමෙන් ලැබෙන ශාරීරික ව්‍යායාමය ඉතාමත් අගනේය. අභියෝගාත්මක ඇත්දැකීම් විඳීමට කැමති තාරූණ්‍යයට මෙන්ම ජීවිතයට නැවුම් අත්දැකීම් එක් කරගැනීමටද කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට, සිය ජීවිත පොතට සර්ෆින් හි නිරතවීමෙන් අමතක නොව සොඳුරු මතකයන් ගොන්නක් එක්කර ගැනීමට හැකිවන බව නම් නොඅනුමානය.


The thrill of surfing echoes throughout the East Coast of Sri Lanka, where both beginners and pros take on the waves. In Whisky Point Arugambay, 
an ideal base for learners, surfing lessons take place at dawn. Foam surfboards are the ideal entry level board. Before taking on the waters, the surfers 
train on the beach. Warm up exercises are the first step. Next maintaining balance with arms spread out and the feet positioned correctly. The quick jump from the paddle position to the upright stance is the trickiest, yet most essential, part to master.


Once the surfer feels ready, it is time to paddle to sea and take on the rollicking waves. The first wave the surfer rides perfectly is applauded.

 

  • image01
    image01

    විවිධ ප්‍රමාණයන්ගේ සර්ෆින් බෝඩ්

    Prev Next
  • image01
    image01

    සිරුර උණුසුම් කරවන ව්‍යායාම්වල යෙදෙමින්

    Prev Next
  • image01
    image01

    බෝඩ් එක මත නිසි අයුරින් සිටගන්නා ආකාරය කියාදෙමින්

    Prev Next
  • image01
    image01

    අනිවාර්යයෙන් පැළදිය යුතු බෝඩ් එකට සම්බන්ධ පටිය

    Prev Next
  • image01
    image01

    පුහුණුකරු දියඹේදී ආධුනික ක්‍රීඩකයා සමඟ සිටිමින් අවැසි සහය සහ පුහුණුව ලබාදෙමින්

    Prev Next