කඳ සුරිඳුන් උදෙසා සුරකින පිළිවෙත ආඩි වේල්
August 2017

තේර් හි වඩම්මවන මුරුගන් දේව ප්‍රතිමාව

ගාලූ මුවදොර පිටිය අසලට එක් රැස්වුණු විසල් ජන ගඟකි. ඒ සෑම මුවකම දක්නට ඇත්තේ බැතිබරත්වය මිශ්‍රිත සතුටකි. එලෙසින් ඔවුන් මග බලා සිටින්නේ මුරුගන් දෙවියන් හෙවත් කඳ සුරිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ආඩි වේල් පෙරහැර පැමිණෙන තුරු ය.


සටහන: අනුරාධා පෙරේරා


ආඩි වේල්


ආඩි වේල් යනු ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පවත්වනු ලබන ජනප්‍රිය සංස්කෘතික සැමරුමකි. සෑම වසරකම ජූලි සහ අගෝස්තු මාස අතර කාලයේදී පවත්වනු ලබන ආඩි වේල් පෙරහැරට සහභාගිවී දේවාශිර්වාදය ලැබීම සඳහා සිංහල, දමිළ භේදයකින් තොරවම විශාල ජනකායක් එකතු වන්නේ බැතිබරත්වයෙනි. ආඩි වේල් ලෙසින් හඳුන්වනු ලබන මෙහි ආඩි යන්නෙන් හඳුන්වනු ලබන්නේ එම මාසයයි. එනම්, බටහිර දින දර්ශන ක්‍රමයට මාසයක ආරම්භය පළමුවැනිදාට යෙදුනද හින්දු දින දසුනට අනුව මාසයක් ආරම්භ වන්නේ මාසයේ 15 වැනිදාය. ඒ අනුව ආඩි මාසය යනු ජූලි මස 15 වැනිදා සිට අගෝස්තු මස 15 වැනිදා දක්වා වන මාසයි. මෙහි වේල් යනු වේලායුධයයි. එනම් කතරගම දෙවියන්ගේ ආයුධයයි. හින්දු දහමට අනුව ආඩි මාසය දෙවියන්ට වෙන්වූ මාසය වුවද ඒ අතරින් මුරුගන් දෙවියන් සුවිශේෂය.


ශ්‍රී ලංකාවේදී මුරුගන් හෙවත් කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකෙරෙන ප්‍රධානම සිද්ධස්ථානය රුහුණු මහා කතරගම දේවාලයයි. එබැවින් එහි පැවැත්වෙන වාර්ෂික පෙරහැර මංගල්‍යය සුවිශේෂී වන අතර එය පැවැත්වෙන්නේද ආඩි මාසයේදීය. එම පෙරහැර මංගල්‍යයේ විශේෂිත අංගයක් වන්නේ දින ගණනාවක් පුරාවට පැවැත්වෙන පෙරහැර මංගල්‍යයෙන් අනතුරුව මැණික් ගඟේදී පවත්වනු ලබන දිය කැපීමේ මංගල්‍යයි. අදටද ඒ සඳහා දිවයිනේ නන් දෙසින් විසල් ජනකායක් එක්රැස්වෙයි. එම දියකැපීමේ මංගල්‍යයට සහභාගීවීමට මුරුගන් දෙවියන්ගේ දේව ප්‍රතිමාව තේර් නම් වූ වර්ණවත් සහ අලංකාරවත් ලෙසින් සරසන ලද කරත්තයෙහි වඩම්මවමින් පා ගමනින් යාම ආඩි වේල් නම් වෙයි.

ආඩි වේල් පෙරහැර මංගල්‍යයේ ඉතිහාසය වසර 150 කටත් වඩා එපිට අතීතයකට දිවයයි.


ආඩි වේල් පෙරහැරෙහි ඉතිහාසය


මෙම ආඩි වේල් පෙරහැර මංගල්‍යයේ ඉතිහාසය වසර 150 කටත් වඩා එපිට අතීතයකට දිවයයි. එදවස පැවති ආඩි වේල් පෙරහැරෙහි ගමනාරම්භය කොළඹ පිටකොටුවේ පළවන හරස් වීදියේ පිහිටි ශ්‍රී කතිර්වේලායුධ ස්වාමි කෝවිල වූ අතර ගමනාන්තය වී තිබුණේ රුහැණු මහා කතරගම දේවලයයි. එලෙසින් වාර්ෂිකව කතරගම වෙත සිදුකළ මෙම පෙරහැර මංගල්‍යය 1945 වසරෙන් පසුව පිටකොටුවේ පළවන හරස් වීදියේ පිහිටි ශ්‍රී කතිර්වේලායුධ ස්වාමි කෝවිලේ සිට බම්බලපිටියේ ශ්‍රී සමන්කෝඩු මාණික්ක විනායගර් කෝවිල වෙතට සිදුකිරීම ආරම්භ කර තිබෙන්නේ එම කාල වකවානුවේ පැවති දෙවන ලෝක යුද්ධය නිසා ඇතිවූ අහිතකර බලපැම හේතුවෙනි. එලෙසින් ගමනාන්තය ලෙස බම්බලපිටිය ශ්‍රී සමන්කෝඩු මාණික්ක විනායගර් කෝවිල තෝරා ගැනීමට විශේෂ හේතුව වන්නේ එය කතරගම දක්වා වූ ගමනේදී වූ එක් නැවතුම් ස්ථානයක් වූ බැවින් සහ එම කොව්ල් දෙකම එකම කළමනාකාරීත්වයක් යටතේ පාලයන වන කෝවිල් වන බැවිණි. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි හින්දු සිද්ධස්ථාන මගින් ආඩි වේල් මංගල්‍යය පැවැත්වුවද ඉතාමත් ඉහළින් පවත්වනු ලබන්නේ කොළඹදීය. ඒ අතර ප්‍රමුඛස්ථානය ගන්නේ ඉහත සඳහන් කෝවිල් දෙක අතර සිදුවන ආඩි වේල් පෙරහැරයි.


ආඩි වේල් පෙරහැර ගමන් මග සහ එහි වත්පිළිවෙත්


වාර්ෂිකව ජූලි අගෝස්තු මාසවල පැවැත්වෙන මෙම සුවිශේෂී සංස්කෘතික මංගල්‍යය මෙම වසරේ ඇරඹෙන්නේ අගෝස්තු මස 5 වැනිදාය. එදින උදෑසනින්ම කොළඹ කොටුවේ පළවන හරස් වීදියේ පිහිටි ශ්‍රී කතිර්වේලායුධ ස්වාමි කෝවිලෙන් ගමන් ආරම්භ කරන ආඩි වේල් පෙරහැර කාවඩිවලින්, බෙර වාදනයන්ගෙන්, නැටුම්වලින් මෙන්ම නාද ස්වරම් වාදනයන්ගෙන් සමන්විතය. එහිදී එම සියලු වත්පිළිවෙත් සිදුකරමින් ගෞරව භක්තියෙන් යුතුව තේර් කරත්තය මත මුරුගන් දේව ප්‍රතිමාව වඩම්මවනු ලබයි. එලෙස පිටකොටුවේ සිට බම්බලපිටිය දක්වා එන ගමනේදී මහමග එකතු වෙන ජනතාව මෙන්ම රාජ්‍ය නායකයින් ඇතුළු ප්‍රභූවරුන්ද එම ප්‍රතිමාවට ආචාර කර ආශීර්වාද ලබා ගන්නට අමතක නොකරයි. ඒ එන ගමන්මගේ සුවිශේෂී නැවතුම් සාථානයක් වන්නේ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත ප්‍රදේශයයි. එහිදී හින්දු බැතිමතුන් පමණක් නොව අන්‍ය ආගමික බැතිමතුන්ද ආඩි වේල් පෙරහැරට සහභාගීව වන්දනා කර දේවාශීර්වාදය ලබා ගනියි. එලෙසින් මග දෙපස රැස්වන ජනයාගේ මෙන්ම පෙරහැරේ පා ගමනින් පැමිණෙන ජනයාගේ වැඳුම් පිදුම්වලින් අනතුරුව ආඩි වේල් පෙරහැර බම්බලපිටිය ශ්‍රී සමන්කෝඩු මාණික්ක විනායගර් කෝවිල වෙත ගෙවදියි. ඉන් අනතුරුව දින දෙකක් මුරුගන් දේව ප්‍රතිමාව එම කොව්ලේ තැම්පත් කරනු ලබයි. එම පෙරහැරත් සමඟින් පැමිණෙන ජනයා වෙත ආහාර පානාදියෙන් සත්කාර කිරීමෙන් අනතුරුව එදින සවස් යාමය විවිධ වත්පිළිවෙත් මෙන්ම දෙවියන් උදෙසා සිදුකරනු ලබන ගායනාවන්ගෙන්ද සමන්විත වෙයි. ඉන් අනතුරුව උදාවන දින දෙකෙහිදී මල්, රත්තරන් වැනි දෑ වලින් සරසවමින් දේව ප්‍රතිමාව වෙත වත්පිළිවෙත් සිදු කරයි. එම දින දෙකෙහිදී බැතිමතුන් හට එම කෝවිල වෙත පැමිණ මුරුගන් දේව ප්‍රතිමාවට පුද පූජා පැවැත්වීමට මෙන්ම වන්දනාමාන කර දේවාශීර්වාදය ලබා ගැනීමටත් හැකියාව පවතී.


මෙලෙසින් දින දෙකකට පසුව එළැඹෙන ඊළඟ දිනයේදී නැවත පිටත්වන පෙරහැර වැල්ලවත්ත චාල්මන්ට් පාර අවසාන වන ස්ථානයේ මුහුදට ගොස් දිය කැපීමේ චාරිත්‍රයන් සිදු කරනු ලබයි. එම කටයුතු සිදුකිරීමෙන් අනතුරුව නැවතත් පිටකොටුවේ පළවන හරස් වීදියේ පිහිටි ශ්‍රී කතිර්වේලායුධ ස්වාමි කෝවිල වෙත පැමිණෙන්නේ එන අතරමගදී පිටකොටුව කෙලින් වීදියේ (මේන් ස්ට්‍රීට්) පිහිටි සියලුම වීදි සහ අතුරු මාර්ගයන් හි ගමන් කිරීමෙන් අනතුරුවය. එලෙස ගමන් කිරීමේදී බැතිමතුන්ට පෙරහැර දැක බලාගෙන මෙන්ම වන්දනා කිරීමෙන්ද ආශිර්වාද ලබාගැනීමට හැකිවෙයි. එමෙන්ම රෝගී තත්ත්වය සහ වයෝවෘදතාවයන් හේතුවෙන් කෝවිලට ගොස් වන්දනාමාන කිරීමට හැකියාව නොමැති බැතිමතුන්ටද දෙවියන් වැඳ දේවාශීර්වාදය ලබාගැනීමට අවස්ථාව උදා වෙයි. මේ වසරේ දියකැපීමේ චාරිත්‍ර යෙදී තිබෙන්නේ අගෝස්තු මස 8 වැනිදාටය.


මෙලෙසින් සිදුකරනු ලබන සෑම වත්පිළිවෙතකම සංස්කෘතික අපූර්වත්වයක් ගැබ්ව ඇතිවා මෙන්ම මිනිස් චිත්ත සන්තානයන් සුවපත්කළ හැකි නිරාමිස සුවයක්ද ගැබ්ව ඇත්තේ සෑම ආගමකම අරමුණ වන මිනිසා තුළ හික්මීමක් ඇතිකරවීමේ අභිලාශයද සමඟිනි.


මෙම ලිපියට තොරතුරු සහ ඡායාරූප සැපයෙන්නේ පිටකොටුව පළවන හරස් වීදියේ ‍ශ්‍රී කතිර්වේලායුධ ස්වාමි කෝවිලේ භාරකාර ඒ. මාණික්කවසගර් මහතාගෙනි.


Aadi Vel, held between the months of July and August, is mainly a celebration of Lord Murugan, Skanda or god Kataragama. The centre of Aadi Vel celebrations is Colombo, and the main procession proceeds from Sri Kathir Velayutha Swami Kovil in Pettah to Sri Saman Kodu Manikka Vinayagar Kovil in Bambalapitiya. This year the the Aadi Vel begins on August 5. The procession will begin early morning and leave the Sri Kathir Velayutha Swami Kovil, replete with drumming, dancers including the kaavadi and nadaswaram music. In the heart of the procession is a statue of god Murugan. Large crowds gather to receive blessings. The statue is housed in the kovil in Bambalapitiya for two days, where it is venerated with ardour. After the "water cutting ceremony", which this year takes place on August 8, the statue returns to the kovil at Pettah, parading Main Street via the large gathering of devotees.

  • image01
    image01

    ආඩි වේල් අලංකාරවත් කරන කර්ණාටක බෙර වාදනයන්

    Prev Next