සොඳුරු බන්ධනයක උත්තම සංඛේතය තාලි කොඩි
September 2017

මුළු උත්සව ශාලාවේම වූයේ මංගල සිරියකි. ස්තෝත්‍ර ගායනා මැද හින්දු සම්ප්‍රදායානූකූලව විවාහ මංගල්‍යයේ කටයුතු සිදුවෙමින් පැවතුණි. ඒ අතර තරමක් ඉහළ ශබ්දයකින් මේලම් සහ නාද ස්වරම් වාදනය ආරම්භ වූයේ එම විවාහ මංගල්‍යයේ වැදගත්ම අවස්ථාව වන තාලි පැලඳවීමේ සුබ මොහොත එළැඹී ඇති බව දන්වමිනි.


සටහන: අනුරාධා පෙරේරා | ඡායාරූප : මහේෂ් බණ්ඩාර සහ විශ්වතන් තර්මකුලසිංහම්


හින්දු විවාහ මංගල්‍යයන්හිදී මනාලයා විසින් සිය මනාලියගේ ගෙලෙහි පලඳවන කර මාලයකට සමවූ තාලි යනු ඔවුන් දෙදෙනාගේ බන්ධනයේ හරය සංඛේතවත් කරවන ප්‍රධානම අංගයයි. තාලි යන්න වේලි ලෙසින්ද දමිළ භාෂාවෙන් හැඳින්වෙන අතර ඉන් අදහස් වන්නේ වැට යන්නය. එහි සරල අරුත වන්නේ නව යුවලගේ ආරක්ෂාව සඳහා වන වැටක් වන් බන්ධනය යන්නය. කොඩි යනු තාලිය පලඳවනු ලබන මාලයයි.


ඈත අතීතයේදී විවාහ බන්ධනය සංඛේතවත් කරමින් මනාලයා විසින් සිය මනාලියට තාලිය ලෙසින් පලඳවා ඇත්තේ කහ කැබැල්ලක්ය. ඒ කහ ආලේප කරන ලද නූලක් ආධාරයෙනි. නමුත් කාලයේ විකාශනයත් සමඟින් එය පසු කාලීනව ලෝහවලින් තැනීය. ඒ අනුව රිදියෙන් තනා රන් ආලේප කර පැලඳි තාලිය අද වන විට රත්තරනින් තනවනු ලබයි.


තාලි කොඩි යනු මනමාලයාගේ පාර්ශ්වය විසින් විවාහ මංගල අවස්ථාවේදී මනාලිය වෙත පිරිනමනු ලබන තිළිණයයි. විවාහ මංගල අවස්ථාවේදී තාලිය පලඳවනු ලබන්නේ කහ නූලකිනි. තාලිය පලඳවා එම නූලට ගැට තුනක් යෙදීම අනිවාර්ය වන අතර මනාල මහතා විසින් යොදනු ලබන්නේ ඉන් පළමු ගැටය පමණි. දෙවන සහ තෙවය ගැට යොදනු ලබන්නේ මනාල මහතාගේ සොහොයුරියන් හෝ වැඩිහිටි කාන්තාවන්ය. එහිදී වඩාත් වැදගත් වන්නේ එම ගැට යෙදීම සඳහා සහභාගි විය හැකි වන්නේ විවාහවී දූ දරුවන් ලබා සෞභාග්‍යමත් යුග දිවියක් ගත කරනු ලබන කාන්තාවන්ට පමණක් වීමය. මෙම ගැට තුන හ‍ඳුන්වන්නේ අරම්, පොරුල් සහ ඉන්බම් යනුවෙනි. අරම් ලෙසින් හඳුන්වනු ලබන එම පළමු ගැටයෙන් අදහස් කරන්නේ විශ්වාසවන්තව, විනයගරුකව කටයුතු කිරීමයි. පොරුල් ලෙසින් හැඳින්වෙන දෙවන ගැටයෙන් එදිනෙදා ජීවිතයට අවැසි සියලූ සෞභාග්‍යය අදහස් කරන අතර ඉන්බම් යනුවෙන් හඳුන්වන තෙවන ගැටයෙන් අඹුසැමි යුවල ගතින් සහ සිතින් ගත කරන සතුට සහ ප්‍රීතිය පිළිබිඹු කරයි. තාලිය පලඳවන අවස්ථාවේදී විවාහ මංගල උත්සවයට සහභාගිවී සිටින අනෙකුත් පිරිස ඔවුන් වෙත සහල් ඉසිමින් ආශිර්වාද කරනු ලබයි. එලෙසින් සහල් ඉසීමෙන් සංඛේතවත් කරන්නේ නව යුවලට ආහාර පානාදියෙන් කිසි දිනෙක අඩුපාඩුවක් නොමැතිව සාර්ථක යුග දිවියක් ගතකිරීමට හැකිවේවා යන ආශිර්වාදයයි. එමෙන්ම තාලිය පලඳවන අවස්ථාවේදී මේලම් වාදනයන්ද සිදුකරනු ලබයි. එයින් බලාපොරොත්තු වන්නේ එම උත්සව අවස්ථාවට සහභාගීවී සිටින යම් අයෙකු හෝ අසුබ යමක් ප්‍රකාශ කළහොත් නව යුවලට හෝ අන් අයට නොඇසෙන්නටය. තාලිය කර වටා බඳින අවස්ථාවේදී කරන වාදනය කෙට්ටි මේලම් වාදනය යනුවෙන් හඳුන්වයි.


මෙලෙසින් විවාහ මංගල අවස්ථාවේදී කහ නූලකින් පලඳවන තාලිය පසුව රත්තරනින් නිම කළ කොඩි හි අමුණා පලඳනු ලබයි. එහිදී කොඩි සඳහා වන නියමිත දිගක් වෙයි. එය අඟල් 24 ක දිගකින් යුක්ත විය යුතුයි. එලෙසින් අඟල් 24 ක දිගක් වියයුතු වන්නේ එහි තාලිය පැලඳූ පසු තාලිය මනාලියගේ පපුවේ මැද ස්පර්ශ විය යුතු වන බැවිනි. එමගින් අදහස් කරන්නේ තාලිය සිය ස්වාමි පුරුෂයාව සංඛේතවත් කරන අතර සෑම මොහොතකම ඇය තම ස්වාමියාව සිය හදවතෙහිම තබාගතයුතු බවයි. කිසිදු හේතුවක් නිසාවෙන් විවාහක කාන්තාවකට කර පලඳින තාලියක් ගැලවිය නොහැකිය. යම් කාන්තාවකගේ ගෙළ බැඳි තාලිය ඉවත් කරන්නේ ඇයගේ ස්වාමියා මියගියවිට පමණි. එලෙසින් විවාහක කාන්තාවක් සිය තාලිය ගෙලෙන් ඉවත් කළහොත් ඇය සිය ස්වාමියා සමඟ තිබූ බැඳීම් සියල්ලම අතහැර දැමූ බව පිළිබිඹු වෙයි.


මෙලෙසින් පලඳවනු ලබන තාලි වර්ග කිහිපයක් වෙයි. ඒවා අතර පිල්ලයාර් තාලි, අම්මන් තාලි, මලයාලම් තාලි, ශිවන් අම්මන් තාලි, ලිංග තාලි, සංගු චක්‍ර තාලි, කොම්බු තාලි ආදි තාලි වර්ග බහුල වශයෙන් භාවිත වෙයි. මනාලියට පලඳවනු ලබන තාලි වර්ගය තීරණය වන්නේ මනාලයාගේ පරම්පරාව අනුවය. එමෙන්ම තාලි පැලඳවීමේ නිවැරදි ක්‍රමය වන්නේ තාලියෙහි සඳහන් වන දේව රූප සිරුරේ ස්පර්ශ වන ලෙසින්ය. එමෙන්ම තාලියේ ආරක්ෂාව සඳහා දේව රූප දෙකක් සටහන් වන රන් කාසි දෙකක්ද තාලියේ දෙපස පලඳිනු ලබයි. එහිදී දේව රූප ලෙසින් සටහන් කරන්නේ තමන්ගේ ඉෂ්ට දේවතාවුන්ය. (තමන් වැඩි වශයෙන් වන්දනාමාන කරන දෙවිවරුන්)


තාලි සෑදීමේ කාර්යයද සුවිශේෂය. එය සිදුකරනු ලබන්නේද උත්සවාකාරයෙනි. එහිදී විවාහ මංගල්‍යයට දින කිහිපයකට පමණ පෙර මනාලයාගේ නිවසේදී සුබ වේලාවකට රන් කාසියක් උණු කරනු ලබයි. එය දහයියා මත තබන මැටි හෝ චීනචට්ටි බඳුනක උණු කරනු ලබන අතර උණුකළ පසු එය තාලි සාදනු ලබන රන්කරු වෙත ලබා දෙයි. තාලි සාදනු ලබන්නේ පාරම්පරික රන් කර්මාන්තකරුවන් විසින් වන අතර ඔවුන් ආසාරි ලෙසින් හඳුන්වනු ලබයි.


දමිළ හින්දු බැතිමතුන් පලඳින තාලි සහ දමිළ කිතුනු බැතිමතුන් පලඳින තාලිවල සුවිශේෂි වෙනස්කමක් වෙයි. එම තාලි වර්ග දෙකම කොඩි සමඟ පැලඳුවද කිතුනු බැතිමතුන් සඳහා නිර්මාණය කරන්නේ බයිබලය, පරවියා, කුරුසය, හදවත් හැඩය සහ ශුද්ධාත්මයානන් නිරූපණය වන ලෙසිනි.


මේ කවර ලෙසකින් කවර ප්‍රමාණයකින් නිර්මාණය වුවද තාලි කොඩි පැලඳීමේ මූලික අරමුණ වන්නේ විවාහ බන්ධනයෙන් බැඳෙන නව යුවලගේ එම බැඳීම නොවෙනස්ව සැමදාමත් එක ලෙසින් පැවතිය යුතු බවය.


මෙම ලිපිය සැකසෙන්නේ දේවි ජුවෙලර්ස් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරිනි.


The Thali is a necklace tied around a Tamil bride's neck by her groom, and signifies the sacred bond between husband and wife. Melam and nadaswaram music is played during the auspicious moment of the wedding. There are different types of thali such as Pillayar and Amman for Hindu brides. In Christian ceremonies the thali incorporates symbols like the dove or the bible. The article was written based on information obtained from Devi Jewellers.

  • image01
    image01

    ආශිර්වාදගැන්වීම සඳහා සූදානම් කළ තාලිය

    Prev Next
  • image01
    image01

    දමිළ කිතුනු බැතිමතුන් පලඳින තාලිය

    Prev Next
  • image01
    image01

    මනමාලයා විසින් සිය මනාලියට තාලිය පලඳවන සුබ මොහොත

    Prev Next